කොරෝනාවෛරසය: 'මියු' ප්‍රභේදය වර්ගීකරණයත් සමගම දකුණු අප්‍රිකාවෙන් නවතම ප්‍රභේදයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනාවෛරස ප්‍රභේදයක් නිරීක්ෂණය කරමින් සිටිනාබව වාර්තා වී ඇත. "මියු" නම් මෙම නව ප්‍රභේදය පසුගිය ජනවාරියේ දී අනාවරණය කර ගැනුනේ කොලොම්බියාවෙනි.
මෙම ප්‍රභේදයේ දැක්වෙන විකෘතිතා නිසා එය එන්නත්වලට ප්‍රතිරෝධය දැක්වීමේ ලක්ෂණ ද පෙන්නුම් කළ හැකියැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය අලලා සතිපතා නිකුත්කරන වාර්තාවේ දැක්වේ.
B.1.621 යනුවෙන් ද හැඳින්වෙන මෙම ප්‍රභේදය 'අවධානයෙන් සිටිය යුතු ප්‍රභේදයක්' ලෙස එම සංවිධානය වර්ගීකරණය කර තිබේ.
දැනට, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනාවෛරස ප්‍රභේදයන් පහක් 'අවධානයෙන් සිටිය යුතු ප්‍රභේද' යටතේ වර්ගීකරණය වී ඇති අතර, තවත් ප්‍රභේද සතරක් 'බරපතල අවධානයට ලක්විය යුතු ප්‍රභේද' යටතට දමා තිබේ.
මෙයින් 'අවධානයෙන් සිටිය යුතු ප්‍රභේද' යනුවෙන් හැඳින්වෙන්නේ පොකුරු කීපයක් හරහා සමාජ ව්‍යාප්තිය පෙන්වා ඇති, රටවල් කීපයකින්ම හමුවී ඇති, එනමුත් වඩාත් ප්‍රචණ්ඩ හෝ ඉක්මනින් පැතිරෙන බවට ඔප්පු වී නැති වෛරස ප්‍රභේද යි.
වඩා වේගයෙන් පැතිරෙන, වඩාත් දරුණු, සාමාන්‍ය රෝග ලක්ෂණවලට වඩා වෙනස් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි, පවතින මහජන සෞඛ්‍ය උපක්‍රම හෝ ප්‍රතිකාරවල ඵලදායීතාව අඩුකරන ප්‍රභේදයන් 'බරපතල අවධානයට ලක්විය යුතු ප්‍රභේද' යටතට වැටේ. මෙවසරේ අප්‍රේල් මාසයේ සිට ලංකාවේ ද ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදය ද මේ යටතට අයත් වන්නකි.

ඡායාරූප මූලාශ්‍රය, WHO
මියු ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ කොලොම්බියාවෙන් වන නමුදු, මේ වන විට එය දකුණු ඇමරිකාවේත් යුරෝපයේත් රටවල් 39කින් වාර්තා වී ඇත.
ජාන අනුක්‍රමණ පරීක්ෂණවලට අනුව ගෝලීය වශයෙන් වාර්තා වන මියු ආසාදන සංඛ්‍යාව අඩුවී ගොස් 0.1%ට වඩා පහත වැටී ඇතිමුත්, කොලොම්බියාවේ කෝවිඩ් ආසාදිතයන්ගෙන් 39%ක් ද, ඉක්වදෝරයේ ආසාදිතයන්ගෙන් 13%ක් ද මියු ආසාදිතයින් වන අතර, මෙම සංඛ්‍යාවන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතියි.
මියු මඳිවට තවත් අලුත් ප්‍රභේදයක්?
මියු ප්‍රභේදයෙන් ඇතිවූ උණුසුම වියැකී යන්නටත් මත්තෙන්, තවත් නව කොරෝනාවෛරස ප්‍රභේදයක් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කීපයකින්ම වාර්තා වී තිබේ. C.1.2 ලෙස හැඳින්වෙන මේ නව ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වී ඇත්තේ මේ වසරේ මැයි මාසයේ දී ය.
දකුණු අප්‍රිකාවේ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනය (NICD) අගෝස්තු 30 දා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම ප්‍රභේදය එරට සෑම ප්‍රාන්තයකින්ම වාර්තා වන බව යි. කෙසේ නමුත් මෙය සාපේක්ෂව අඩුවෙන් වාර්තා වන ප්‍රභේදයක් බව ඔවුන් පවසයි.
මෙම ප්‍රභේදය, බීටා සහ ඩෙල්ටා ප්‍රභේදයන්හි දැක්වෙන පොදු විකෘතිතා කීපයක් ද, නව විකෘතීන් ද පෙන්වන බව එම ආයතනය ප්‍රකාශකර සිටියි. තවමත් මෙය WHO විසින් වර්ගීකරණය වී නැතත්, NICD ආයතනය මෙම ප්‍රභේදය දිගින් දිගටම නිරීක්ෂණය කරමින් පවතියි.
C.1.2 ප්‍රභේදය ද එන්නත්වලට අඩ වශයෙන් ප්‍රතිරෝධී වීමට හැකියාවක් ඇතැ යි යන්න තමාගේ අවබෝධය වෙතත්, වෛරසය ආසාදනය වී රෝහල්ගත වීමටත්, මරණයටත් එරෙහිව හොඳම ආයුධය වන්නේ එන්නත්කරණය බව NICD නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, WHO
දකුණු අප්‍රිකා ප්‍රභේදය ලංකාවටත් එයි ද?
සැප්තැම්බර පළමුවැනිදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසූයේ කිසිදු වෛරස ප්‍රභේදයක් ලංකාවට පැමිණීම නැවැත්වීමේ හැකියාවක් නොමැතිබව යි.
"මොකද මේ වෛරසයේ ප්‍රභේද පෙන්නුම් කරන්නේ නෑ - පෙන්නුම් කරන්නේ නෑ කියන්නේ, අපට ඈත තියා හඳුනන්න පුළුවන් නම් අපට ඒක නවත්තන්න බැරිකමක් නෑ - නමුත් ප්‍රශ්නය තියෙන්නේ, මේ අය ලංකාවට ඇවිල්ලා, ලංකාවේ රෝගය පැතිරිලා යන අතරතුර අහඹු ලෙස අපි ගන්නා සාම්පලයකට මේ ප්‍රභේදයක් අහුවුණොත් පමණ යි අපට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රභේද දැන් ලංකාවට ඇවිල්ලා යි කියලා."
"ඒක කල් ඇතුව දැනගෙන අපට නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් නෑ. ඒ නිසා තමා ලෝකයේ දියුණු රටවල්වලට පවා මේ ප්‍රභේද ආක්‍රමණයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙන්නේ," යනුවෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.
කෙසේ නමුත්, මේ දක්වා පැමිණි කොවිඩ් ප්‍රභේද කෙතරම් ආක්‍රමණශීලි වුවත්, ඒවා අපගේ යහපත් සෞඛ්‍ය පුරුදු පරයා යන්නට තරම් දක්ෂයින් නොවේයැ යි ඔහු විස්තර කළේ ය.
"අපි ඒ අපේ සරල සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරනවා නම්, ඔය සියලු ප්‍රභේදයන්ගෙන් අපට ආරක්ෂා වී සිටිය හැකියි," විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩි දුරටත් සඳහන්කර සිටියේ ය.









