ශ්‍රී ලංකාවේ කොවිඩ්: කොළඹ ප්‍රමුඛ පෙළ පුද්ගලික රෝහල් රෝගීන් භාර නොගන්නා බව පවසයි

Municipal workers carry the coffin of an unclaimed body of a Covid-19 coronavirus victim to a crematorium in Colombo on December 10, 2020. (Photo by Lakruwan WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙමින් තිබෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා."

දරාගත නොහැකි මට්ටමින් කොවිඩ් රෝගීන් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම ආසන්නයට පැමිණ ඇති බව ඇතැම් වෛද්‍යවරු පවසති.

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ගණනාවක්ම එවැනි තත්ත්වයක් පවතින බව BBC සිංහල සේවය වෙත තහවුරු කළහ.

අවම සම්පත් යටතේ වුවත් තමන් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි සටනක නිරත වන බව ඔවුහු පවසති.

රජය විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛයකට අනුව වෛද්‍යවරුන්ට පූර්ව අනුමැතියකින් තොරව මාධ්‍ය වෙත අදහස් පළ කළ නොහැකි බැවින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කළ නොහැක.

එසේ වුවත් වෛද්‍යවරු සහ සෞඛ්‍ය සේවකයන් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ගිණුම් ඔස්සේ සිය අත්දැකීම් පිළිබඳ සටහන් තබා ඇති අයුරු දැකිය හැක.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැකිතාක් ප්‍රවේශම් වන ලෙස ඔවුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහන
ඡායාරූප ශීර්ෂ වැකිය, බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහන
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා ෆේස්බුක් හි තැබූ සටහනක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා ෆේස්බුක් හි තැබූ සටහනක්

මේ අතර බස්නාහිර පළාතේ පිහිටි ප්‍රමුඛ පෙළ පුද්ගලික රෝහල් සහ පුද්ගලික රෝහල් ජාල තවදුරටත් කොවිඩ් ආසාදිතයන් බාර නොගන්නා බව BBC සිංහල සේවය කළ විමසීමකදී තහවුරු විය.

පුද්ගලික රෝහල් වෙත පැමිණෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන්නේ බස්නාහිර පළාතේ පිහිටි සංචාරක හෝටල් තුළදීය.

අදාළ රෝහල්වල පූර්ණ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙයි.

එහෙත් මේ වන විට තමා වෙත පැමිණෙන රෝගීන් ද උපරිම සීමාවකට පැමිණ ඇති බව BBC සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රමුඛ පෙළ පුද්ගලික රෝහල් පහක නිලධාරීහු පැවසූහ.

Daily death

කොවිඩ් වසංගතය හේතුවෙන් බ්‍රහස්පතින්දා (අගෝස්තු 05) මරණ 94 ක් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මේ වන විට රත්නපුර සහ කරාපිටිය යන ශික්ෂණ රෝහල් තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

කළුබෝවිල රෝහලේ "අඩිය තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්" සිටින බව සිය දෙමව්පියන්ට ප්‍රතිකාර කර ගැනීම සඳහා එහි ගිය මාධ්‍යවේදිනියක් ෆේස්බුක් හි තැබූ සංවේදී සටහනක දැක්විණි.

රජයේ ප්‍රතිචාරය

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය

මේ මොහොතේ එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබා දෙමින් රෝහල්වල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.

කොවිඩ් ආසාදිත වයස අවුරුදු 18 ට අඩු දරුවන් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුව අමතමින් බ්‍රහස්පතින්දා පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ ලොක්ඩවුන් කිරීමට නොයන බව රජයේ ස්ථාවරය වී තිබේ.

ඔක්සිජන් සැපයුම

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ රටේ පවතින තත්ත්වය "එතරම් සතුටුදායක නොවන බවය."

"ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ සීග්‍ර වැඩිවීමක් පසුගිය දිනවල අපි නිරීක්ෂණය කරනවා. අද වන විට ලංකාවේ නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදා ගන්න තත්ත්වයක් ඇවිත් තිබෙනවා."

එවැනි තත්ත්වයක් තුළ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

"මිනිසුන් රෝහල් තුළ මැරී වැටෙමින් තිබෙන තත්ත්වයට පත්වෙමින් තිබෙනවා." යනුවෙන් කී රාජ්‍ය අමත්‍යවරයා පවතින තත්ත්වය සලකා බලා ගුරු උද්ඝෝෂණය තාවකාලිකව හෝ නතර කරන මෙන් ඉල්ලා සිටියේය.

"ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්"

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ කොවිඩ්: 'ICU' ඇඳන් ගැන දැන ගමුද?

මේ අතර ශ්‍රී ලංකාවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බදාදා (අගෝස්තු 03) අනතුරු අඟවා තිබිණි.

ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් ඇති බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි" යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.