ශ්‍රී ලංකාවේ කොවිඩ්: "රෝහල් කිහිපයක හදිසි ආපදා තත්වයක්", තවත් මරණ 82 ක් සහ ආසාදිතයින් 2543 ක්

සංරක්ෂිත ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංරක්ෂිත ඡායාරූපයකි

රට පුරා ප්‍රධාන රෝහල් ගණනාවක දැඩි සත්කාර ඒකක (ICU) කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බවට වාර්තා පළවෙද්දී, අඟහරුවාදා (අගෝස්තු 03) තවත් 82 දෙනෙකුට වසංගතය හේතුවෙන් දිවි අහිමි වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව, තවත් 2543 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදිත වී ඇතැයි බදාදා දිනය තුළ හෙළි වී ඇත.

රටේ පවතින වත්මන් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව එහි සියලුම කාර්ය මණ්ඩලය වෙත දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් BBC සිංහල සේවය කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රොඩ්රිගො කියා සිටියේ ශික්ෂණ රෝහලේ කොවිඩ් සඳහා වෙන් කර ඇති ICU ඇඳන් හතරම රෝගීන්ගෙන් පිරී පවතින බවය.

තවත් දැඩි සත්කාර ඇඳන් 06 ක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් දිනවල පැවති සාමාන්‍ය සේවා යම්තාක් දුරට අඩු කර ඇතත් කොවිඩ් සේවා තවදුරටත් ක්‍රියාත්මක බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ කොවිඩ්: 'ICU' ඇඳන් ගැන දැන ගමුද?

ගාල්ල සහ බදුල්ල

මේ අතර ගාල්ල කරාපිටිය රෝහලේ ද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම, රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වීම සහ රෝහලේ කාර්ය මණ්ඩලය ආසාදනය වීමේ ප්‍රවනතාවක් මතු වී තිබෙන හෙයිනි.

මේ තත්වය තුළ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඒකකවල ධාරිතාවය ඉක්මවායමට පටන් ගෙන ඇති බැවින් රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනු ලබන බවට කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වරයා නිකුත්කළ ලිපියකින් පැවසීය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් රෝගයට ගොදුරැ වීමෙන් සංකුලතාවයන්ට ලක්වන රෝගීන් සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දීම සඳහා කොවිඩ් ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකුලතාවයන් නොමැති රෝගීන් අදාළ බලධාරීන් දැනුවත් කර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්තානවලින් ඉඩපහසුකම් ලැබෙන තුරු නිවසේ සිට සම්මත ආරක්ෂක විධිවිධාන අනුව රැඳී සිටින ලෙසයි.

මේ අතර බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ මේ වන විට රෝහල් ගණනාවක හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොළඹ සියලුම රජයේ සහ පුද්ගලික රෝහල් උපරිම ධාරිතාවකට ළඟා වීම නිසා කොරෝනා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අගනුවර ප්‍රධාන සංචාරක හෝටලයක 'ලොබියේ' ප්‍රතිකාර ලබා ගන්නා බව දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ ඔස්සේ හුවමාරු වේ.

වෛද්‍ය පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහන
ඡායාරූප ශීර්ෂ වැකිය, වෛද්‍ය පාලිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහන

අඟහරුවාදා (අගෝස්තු 03) වනවිට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් (ICU නොවන) 33,000 න් 30,000 ක් පමණ පිරී පැවති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මීට ඉහතදී පවසා තිබිණි.

කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලද රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 90% ඉක්මවා රෝගීන් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අඟහරුවාදා (අගෝස්තු 03) කොවිඩ් රෝගීන් 2,420 ක් වාර්තා වූ අතර සඳුදා මරණයට පත් සංඛ්‍යාව 74 කි.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ දක්වා මරණයට පත් මුළු සංඛ්‍යාව 4,645 කි.

COVID daily cases

ඔක්සිජන් සැපයුම

බොහෝ ප්‍රදේශයන්හි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම හමුවේ රෝගීන් සංඛ්‍යාව සහ ඔක්සිජන් මත ජීවිතය රඳා පවතින රෝගීන් සංඛ්‍යාව වඩාත් භයානක ලෙස ඉහළ යාමත් සමග ප්‍රතිකාර ලබා දීමේ ධාරිතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟම එහි සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ ගැටලුවට ඉදිරි දින කිහිපයේදී මුහුණ පෑමට සිදුවිය හැකි යයි එම සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එවැනි තත්ත්වයක් තුළ ඔක්සිජන් හිඟය හෝ වඩාත් වැදගත් ලෙස ඇඳන් වෙත ඔක්සිජන් සැපයුම ලබා දීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු නිසා රෝගීන් මරණයට පත් වීමේ අවදානමක් ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

"ඔක්සිජන් අර්බුදය රජයේ සහ පුද්ගලික යන අංශ දෙකටම එකසේ අදාළ වනු ඇත." යනුවෙන් ඉහත කී නිවේදනයේ දැක්වේ.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් සීමා තවදුරටත් ලිහිල් කිරීම "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි" යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.

තවත් මරණ 82 ක්

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන්

මේ අතර දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන් තවත් හතර පස් ගුණයක් සමාජයේ සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එහි සභාපති රවී කුමුදේශ් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශය සිදු කරන පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දැනට 80% ඉක්මවා සිටින රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් හඳුනා ගත නොහැකි බවය.

"මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහල් වෙත එන සංඛ්‍යාව මිස හඹා ගිහින් සොයා ගනු ලබන හෝ අහඹු පරීක්ෂණ මගින් සොයා ගනු ලබන රෝගීන් නොවේ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ මොහොතේ සමාජයේ ගැවසෙන කොවිඩ් ආසාදියන් ප්‍රමාණය රෝහල්ගතව සිටින ප්‍රමාණය මෙන් පස් ගුණයක් විය හැකි බවට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

මේ වනවිට ඉතා ශිඝ්‍රයෙන් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් එම නිසා කොළඹ ශ්‍රි ලංකා ජාතික රෝහල ඇතුළු බස්නාහිර සියලුම රෝහල් කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් පිරී ඇති තත්ත්වයක් පවතින බවත් ඇය පැවසීය.

"මේ වැඩිවන රටාව අනුව ඉතා දරුණුවට යයි කියල පුරෝකථනය කරන්න වෙනවා. මේ ප්‍රමාණය ආවේ ඇල්ෆා ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ වේගවත් බව නිසා. ඒ නිසා ඉතා වේගයෙන් රෝගය පැතිරෙන තත්ත්වයක් පවතිනවා. රෝහල් පද්ධතියට දරන්න බැරි තරමට දැනටම රෝගීන් පිරිලා. ඊට අනුකූලව අපි දන්නවා අඩු ආදායම්ලාභී රටක් ලෙස සියලුම අයගේ පී.සී.ආර් කරන්නේ නෑ,"

රජයේ ප්‍රතිචාරය

එන්නත ලබාගැනීම පිණිස පෝලිමේ
ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත් ලබා ගැනීමට පැමිණි ජනයා

මේ අතර කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළත් රට ලොක්ඩවුන් කිරීමට රජය මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

"මොකද ලොක්ඩවුන් එක හරහා ජනතාවට විශාල ආර්ථික පීඩනයක්, විශේෂයෙන්ම වක්‍ර රැකියා කරන පුද්ගලයන්ට විශාල නරක බලපෑමක් ඇති කරන නිසා දැන්ම ලොක්ඩවුන් එකකට යන එකක් නැහැ."

රජයේ රෝහල්වල පහසුකම් ඉහළ නංවමින් එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත් අමාත්‍යවරිය BBC සිංහල සේවය වෙත සඳහන් කළාය.

"වැඩි සංඛ්‍යාවක් රෝහල් ගත වෙලා ඉන්නවා. ඒත් සමහර අයට ඇඳන් ලබා දීමේ හැකියාවක් නෑ. රෝහල් පද්ධතියේ තදබදයක් තියෙනවා."

කලින් සතියට සාපේක්ෂව රෝගීන්ගේ සහ මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඇය පැවසීය.

"කලින් සතියට වඩා ගිය සතියේ රෝගීන්ගේ 26% ක පමණ වර්ධනයකුත් මරණ 20% පමණත් වැඩි වී තියෙනවා,"

එබැවින් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් නිවෙස්වල තබා වෛද්‍ය උපදෙස් ලබා දීමට රජය තීන්දු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

කෝවිඩ් කමිටුවේ 'විශේෂ රැස්වීමක්'

මතු වී තිබෙන තත්වය ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමක දී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ද, රජය එන්නත්කරණයට ප්‍රමුඛතාව දී කටයුතු කරන බවය.

බ්‍රහස්පතින්දා උදෑසන පැවැත්වෙන කොවිඩ් මෙහෙයුම් කමිටුවේ විශේෂ සාකච්ඡාවකදී නවතම වාතාවරණය පිළිබඳව සාකච්ඡා කොට අවශ්‍ය තීන්දුවලට එළඹෙනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තවත් කියවන්න: