කොවිඩ්: රෝගීන්ගෙන් රෝහල් පිරීයත්ම "හෙම්බත් වුණ" සෞඛ්‍ය සේවකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
දරුවන් ගලවාගැනීම
නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වූ දරුවන් රැකගැනීමට නොනිමි සටනකි. මෙලොව එළිය දැක පැය කීපයක් පමණක් ගත වූ දරු පැටවුන් ද ඒ අතර සිටිති. කොවිඩ් 19 වැළඳුනු දරුවන්ට වෙනම කුටියකි. අසනීප දරුවන් බැලීමට වෙනදාට දෙමාපියන් යුවළ පැමිණිය ද දැන් ඇතුළු වීමට අවසර ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණි.
කොවිඩ් 19 රෝගීන්ගෙන් රෝහල පිරී ඉතිරී නොගියත්, නිරතුරු කාර්යබහුල ළමා රෝහල් කාර්ය මණ්ඩලයට වසංගත කාලය තුළ වැඩි ශ්‍රමයක් වැය කිරීමට සිදුව ඇත.
පදිංචිය කොළඹින් සෑහෙන ඈතක නිසාත්, ඒ දුර එන්නට සිදුවන්නේ පොදු ප්‍රවාහන සේවයේ නිසාත්, රැකියාවට එන දින ගණන අවම කරගැනීමට සමහර හෙදියන් ක්‍රියා කරන බව බීබීසී සිංහල සේවයට පැවසූහ. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඔවුහු ඉල්ලීමක් ද කළහ.
"අපේ ජීවිතය ගැන තව කෙනෙකුට කියද්දී ඒ මිනිස්සු ඉස්සෙල්ලම අහන්නේ, කොහොම ද මේ සියල්ලම කරන්නේ කියලා. මම කොළඹින් සෑහෙන ඈතක ඉන්නේ. ඉතින් ගමනා ගමන අපහසුතා සහ ලංකාවේ ගැහැණියක් හැටියට පැටවෙන පෞද්ගලික වගකීම් එක්ක, මම වැඩ කරන්නේ දින තුනක් නැත්නම් හතරක්. හැබැයි එක් දිනකට පැය 12කට වැඩිය වැඩ කරනවා. මාසෙකට රාත්‍රී වැඩමුර 15ක් කරනවා.
වසංගතයත් එක්ක මේ දේවල් සෑහෙන අපහසු වෙලා තියෙනවා. දවස අවසන් කරන පැය කීපයට එනකොට හෙම්බත් වෙලා ඉන්නේ. හරියට වැඩ කරගන්නත් බැරුව යනවා මහන්සියට," ඇය තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනාවෛරසය පාලනයට යෙදූ නීති රීති, සිරුරට අපහසු විශේෂිත ඇඳුම් කට්ටල (PPE ) මෙන්ම තමන්ට, තමන්ගෙන් සිය පවුලේ අය, හිතවතුන්ට වෛරසය වැළඳේ යැයි ඇති බිය හේතුවෙන් ශාරීරික වෙහෙසට වඩා මනසට දැනෙන පීඩනය අධික බව හෙදියෝ පැවසූහ. නමුත් මේ මොහොතේ දරුවන් රෝගයෙන් බේරා ගැනීමට ඔවුන් සහ වෛද්‍යවරු සම්පූර්ණයෙන් කැපවී සිටින බව ද පැවසූහ.
'ඇය යන්න ගියා මැකිලා...'
වෛද්‍ය තරිඳු සී පෙරේරාගේ අත්දැකීමකි;
වේලාව සවස 4.30ට පමණය. කොවිඩ් රෝගීන් සිටින දැඩි සත්කාර ඒකකය කාර්යබහුල වී තිබිණි.
මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියහ. අපේ හෙදියන් ද පැය ගණනක් ඇඳි විශේෂ ආරක්ෂණ ඇඳුම (PPE) උනා දමා පැමිණියා පමණි.
ගැබිණි මවක් සඳහා ඇඳක් තිබේදැයි විමසමින් පුද්ගලයෙකු එකවරම දැඩි සත්කාර ඒකකය තුළට කඩා වැදිණි. ඒ වන විටත් අපගේ ඇඳන් හයම රෝගීන්ගෙන් පිරි ගොස් තිබිණි.
සියලු දෙනාම ජීවිතයත් මරණයත් අතර සටනකය. සමහරු වෙන්ටිලේටර් යන්ත්රවලය. සමහරු CPAP යන්ත්රවලය. උපරිම ප්‍රමාණයෙන් ඔක්සිජන් ලබා දෙමින් තිබේ. දැඩි සත්කාර ඒකකය තුළ වූ සියලුම 'සිරින්ජ පම්ප්' රෝගින්ට සවිකර ඇත.
කිසිම අයෙකු සෙලවිය හැකි තත්ත්වයක සිටියේ නැත. නමුත් ඉල්ලීම තුළ ජීවිත දෙකකි. අපි දෙදෙනාට වෙන කළ හැක්කක් ද නොමැත. තරමක් හෝ හොඳ මට්ටමක සිටිය රෝගියාව විගසින් වාට්ටුවකට මාරු කර ඇඳක් සූදානම් කර ගත්තේය.
මේ අතර, සවස 6.30ට පමණ මිනුවන්ගොඩින් මාරු කරපු තවත් රෝගියෙකු රැගෙන ආවේය. ඇය වයස 45ක පමණ තෙමස් ගැබිණි මවකි. ඇයගේ ද පළමු දරුවා වීම ද විශේෂත්වයකි.
ඇය දැඩි සත්කාර ඒකකය තුළට ඇතුළු වන විටම කෑගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියාය.

කඩිනම් වූ අප කාර්යමණ්ඩලය විගස ඇයව ඇඳකට දමා යන්ත්‍රවලට සවි කළාය. CPAP යන්ත්‍රය ද සූදනම් විය. අමාරුවෙන් හුස්ම ගන්නා අතර ඇය සිය මල්ලෙන් ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගන්නට උත්සහ කළාය.
එය බෝහොවිට තමාගේ ස්වාමියාට විය හැකිය. ඇඳට දමා ගත වූයේ තප්පර කීපයකි. කිසිවක් කිරීමටවත් ඉඩ නොතබා ඇය අවසන් හුස්ම හෙලීය.
මාගේ මිතුරා තප්පර ගණනක දී ආරක්ෂණ ඇඳුම් ඇඟලා ඇය ළඟට දිව ගියේය. ආරක්ෂණ ඇඳුම සම්පූර්ණයෙන් ඇන්දාද කියාවත් එවෙලේ සිහි නොනැගිනි.
සියලුම හෙදියන් සමග එක්වී ඔහු නැවත ඇය සිහිගැන්වීම ආරම්භ කරන අතර තුර මා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියල්ලන් කැඳවීය. විනාඩි 45ක් පමණ අපි දන්නා සියලු ශිල්ප යොදා ඇය බේරා ගැනීමට උත්සහ කළෙමු. නමුත් ජීවිතයේ අනිත්‍යබවත්, කොවිඩ් රෝගයේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය.
සියලු දෙනා මිනිත්තු කීපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුණු දිගේ කඳුළු කැට වැටිණි.
මෙය තවත් එක් අවාසනාවන්ත එක සිදුවීමක් පමණි. අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන්, ඔවුන්ගේ උපරිමයෙන් රාජකාරියේ නියැලෙති.
මහජනතාව තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැතිනම් අපටද තව නෝබෝ දිනකින් උරුම වන්නේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගත යුතු යැයි පවසමින් වෛද්‍යවරයා සිය සටහන අවසන් කර ඇත.
මේ තොරතුරු ද කියවන්න:
"මිනිස්සු ලෙඩේ හංගනවා"
වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රසායනාගාර සේවකයන්, ගිලන් රථ රියදුරන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවකයන්, උපස්ථායකයන් පමණක් නොව රෝහල් කම්කරුවන් ද මේ අවස්ථාවේ දී සමාජයේ අන් පුද්ගලයන් සේම දැඩි අවදානමකට මුහුණ දී සිටිති.
ඔවුන්ට වෛරසය වැළඳුණ විට ද අන් අය සේම නිරෝධායනය විය යුතුය. සුව වන තෙක් ප්‍රතිකාර ගත යුතුය. රෝහල් රෝගීන් ගෙන් පිරී යන මෙවන් කාලයක එක් සෞඛ්‍ය සේවකයෙකු හෝ එසේ රෝගාතුර වීමෙන් ඇතිවන්නේ විශාල හිඩැසකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"හදිසි නොවන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් එනවා. සමහර මිනිස්සු කොයි තරම් කිව්වත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපදින්නේ නැහැ. ඒ වගේම කොරෝනා වෛරස් රෝග ලක්ෂණ තියෙනවා කියන එකත් හංගනවා. අපිත් මිනිස්සු සහ අපෙන් මේ අවස්ථාවේ විය යුතු සේවය ලබා දෙන්න බැහැ මිනිස්සු මේ වගේ හැසිරුනාම," රජයේ රෝහලක රැකියාවේ යෙදෙන තාක්ෂණික ශිල්පිණියක පැවසීය.
"ශාරීරිකව අපි ලෙඩවලට ශක්තිමත්ව මුහුණ දුන්නත්, මානසිකව අපිටත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේම මේ ගැන බය දැනෙනවා. අපේ පවුලේ මිනිස්සු ගැන දැඩි බියක් ඇතිවෙනවා, මොකද අපි ගෙදර ගියාට පස්සේ වෙන් වෙලා ඉඳීමක් නැහැ. අපේ වයසක දෙමාපියෝ, දරුවෝ, පවුලේ අය එක්ක එකටමයි ජීවත් වෙන්නේ. රස්සාව ඉවර කරලා ගෙදර ගිහින් සියලු පහසුකම් එක්ක වෙනම කාමරයක ඉන්න තත්ත්වයක් ලංකාවේ නැහැ"
මුහුණු ආවරණ නොපළඳමින් දුරස්ථභාවය රඳවා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 238 දෙනෙකු මැයි 5 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යට පැවසීය.
'නිහඬ සේවයක්'
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහල කොවිඩ් රෝගීන් පිරී යාමත් සමග එම රෝගීන් නැවැත්විය හැකි තාවකාලික ඒකකයක් ඉඳි කිරීමට මුල් වී ක්‍රියා කළ වෛද්‍යවරුන් ගැන වෛද්‍ය චනිත් පේදුරුආරච්චි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි.
"මේ වෛද්‍ය දේශප්‍රිය ගලහවෙල. ඉතා අවම පහසුකම් තියන දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට කොවිඩ් රැල්ල ආපු දවසෙ ඉඳලා පහසුකම් වැඩිකරන්න වෙරදරපු තිරය පිටටුපස නිහඬ චරිත.
ප්‍රජා නායකයන්ගෙ සහයෝගය එක්ක සංවිධානය වෙලා මුලින්ම කොවිඩ් රෝගීන්ගේ තාවකාලිකව රැඳවුම් ඒකකය ඉදිකරලා, මේ වනවිට වෛද්‍ය මාලක උඩගමගේ එක්ක එකතුවෙලා වැඩිපුර රෝගීන් තියන්න පුළුවන් පහසුකම් සහිත ඒකකයක් ඉදිකරමින් යන අතරෙම, කාර්මිකයො ගෙන්නගෙන අක්‍රිය වෙලා තිබුණ කෘත්‍රිම ස්වශන යන්ත්‍ර අලුත්වැඩියා කරලා මේ වෙනකොට රෝහලේ ගිලන් රථ සියල්ලටම සවිකරලා අවසන්.
ඊට අමතරව වාට්ටුවලත් කීපයක් දැනට අලුත්වැඩියා කරමින් තියෙන්නෙ. දැඩි සත්කාර ඒකකයකට අවශ්‍ය ඇඳන් හොයාහෙන, කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර අලුත්වැඩියා කරලා, ඒව තියන්න ගොඩනැගිලිත් මේ කොවිඩ් වසංගත අතරෙම හදන නිහඬ මිනිස්සු අපි අතරෙ ඉන්නවා...,"

ඡායාරූප මූලාශ්‍රය, Facebook/ Chanith Peduruarachchi
"රෝහල් උපරිමයට"
මේ වනවිට ශ්‍රී ලංකාවේ රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇතැයි, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැයි 6 දින මාධ්‍යට පැවසීය.
හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි අතර, PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස් සිටින ලෙස ද රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
දිනකට විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන බැවින් වාර්තා නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇතැයි ද ඇය පැවසුවා ය.









