ශ්‍රී ලංකාව: "කොවිඩ් කැලේ, අපි වැඩිපුරත් ගෙවලා, තෙරපිලා යනවා"

Coronavirus and public transportation in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඇත්තම කියනවනම් 'කොවිඩ් කැලේ'. මිනිස්සු එක පිට එක යන්නේ තෙරපිලා"
    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 පැතිරී යාමත් සමග 2020 නොවැම්බර් මස බස් ගාස්තු වැඩි වීමක් සිදු වූයේ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මගීන් අවම ප්‍රමාණයක් බස්වලට නංවාගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමිනි.

නමුත් බීබීසී සේවය කළ විමසුමක දී, පොදු ප්‍රවාහන සේවයේ භාවිත කරන පිරිස පැවසුවේ මේ වන විට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් සිදුනොවන නමුත් බස් ගාස්තු වැඩි වීම එලෙසම පවතින බවය.

"මම හැමදාම වැඩට යන්නේ කොළඹ පිළියන්දල බස්වල. ඇත්තම කියනවනම් 'කොවිඩ් කැලේ'. මිනිස්සු එක පිට එක යන්නේ තෙරපිලා. නීතියට අනුව දුරින් ඉඳන් යන්න තියෙන්නේ. දුර තියා සමහර මිනිස්සු මාස්ක් පවා දාන්නේ නැහැ. පුදුම කලකිරීමක් තියෙන්නේ. වැඩිපුර ගාස්තුත් ගෙවලා ලෙඩත් හදා ගන්න තමයි අපිට වෙලා තියෙන්නේ," රජයේ රෝහලක හෙදියක් වන අනුෂ්කා තලගස්පේ පැවසීය.

කොරෝනාවෛරස ප්‍රවාහන ප්‍රතිපත්තියට අනුව නොවැම්බර් මස සිට සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2කට වැඩි ප්‍රමාණයක් අය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළේය.

ඒ අනුව සාමාන්‍ය මගී ප්‍රවාහන බස්රථ රුපියල් 12ක් වූ අවම බස් ගාස්තුව නොවැම්බර් සිට රුපියල් 14ක් ලෙස සංශෝධනය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

"පුද්ගලික බස්රථ වෙනුවෙන් ගාස්තු වැඩිකිරීමක් අපි ප්‍රතිපත්තියක් ලෙස කරන්නේ නෑ. නමුත් සෞඛ්‍ය නීතිරිති අනුව කටයුතු කිරීමේ දී ඒ අයට වෙන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තුවක් අය කිරීමක් කරන්න අවසර දුන්නා," ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ පැවසීය.

Coronavirus and public transportation in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වසංගත තත්ත්වය යටතේ මගී ප්‍රවාහනය සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය ක්‍රියා කළේය.

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී ඇති අවදානම් මට්ටම්වලට අනුකූලව ප්‍රවාහන අමාත්‍යාංශය ද මූලික අවදානම් මට්ටම් තුනක් මත පදනම්ව ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතුය.

  • අවදානම් මට්ටම 1: සෞඛ්‍ය ආරක්ෂණ නිරෝධායන නීති අනුගමනය කරමින් සාමාන්‍ය ආකාරයෙන් ප්‍රවාහන සේවා පවත්වා ගෙන යාම.
  • අවදානම් මට්ටම 2: ආසන සංඛ්‍යාවට පමණයි
  • අවදානම් මට්ටම 3: මුළු ආසන සංඛ්‍යාවෙන් 50% ක් පමණයි (ආසනයක් හැර ආසනයක් ලෙස)

ප්‍රවාහන අමාත්‍යංශයට අනුව මගී ප්‍රවාහනයේ දී පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ නිරෝධායන නීති රීති;

  • බස් රථයේ ගමන් කරන මගීන් අනිවාර්යෙන් මුඛ ආවරණ පැළඳ සිටිය යුතුයි.
  • බස් රථයේ අසුන්ගත නොහැකි ආසන කතිර ලකුණ යොදා තිබිය යුතුයි.
  • බස් රථයට ගොඩවීමට පෙර හා පසුව විෂබීජ නාශක දියර වලින් අත් පිරිසිදු කිරීම.
  • සෑම බස්රථයක ම ඇතුළු වීමේ හා පිටවීමේ දොරටු අසල විෂබීජ නාශක දියර බෝතල් රඳවනයක් තිබීම.
  • අනවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යාමෙන් වැළකීම.
  • බස් රථය පිටුපස දොරින් බස් රථයට ගොඩවී, ඉදිරිපස දොරින් බැස යාමට කටයුතු කරවීම.
  • කොන්දොස්තර මුඛ හා අත් ආවරණ අනිවාර්යෙන්ම පැළඳ සිටිය යුතුයි.
  • පිටුපස දොරට ආසන්න ආසනයක කොන්දොස්තර වාඩි වී සිටිය යුතු අතර, ඔහුගෙන් ටිකට් පතක් ලබා ගැනීමෙන් පසුව මගියා අසුන් ගත යුතුය. ගමන් ගාස්තුවට සරිලන මුදල පමණක් කොන්දොස්තරට ලබාදිය යුතුය.
  • මගීන්ට බස්රථයෙන් බැසීමට හා නැගීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම.
  • සෞඛ්‍ය උපදෙස් බස් රථ වල ශ්‍රව්‍ය හා දෘශ්‍ය වශයෙන් ප්‍රදර්ශනය කිරීම.
  • බස් රථ වල ගමන් ගත් අය හඳුනා ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීම.
  • සෑම ගමන් වාරයක් ආරම්භ කිරීමට පෙර බස් රථය විෂබීජ හරණය කිරීම.
  • බස් රථය තුළ ආහාර ගැනීමෙන් වැළකීම.
  • බස් රථයට මගීන් හැර යාචකයින් හෝ ජංගම වෙළෙඳුන් වැනි අය ඇතුළු වීම වැළකීම.
  • සුඛෝපභෝගී බස් රථ වල ගමන් ගන්නා මගීන් ගේ උණ පරික්ෂා කිරීම සඳහා යන්ත්‍රයක් භාවිත කිරීම.

මෙයට අමතරව බස් පර්යන්ත පරිපාලනය සඳහා ද විවිධ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් හඳුන්වා දී තිබේ.

Coronavirus and public transportation in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම ගමන් වාරයක් ආරම්භ කිරීමට පෙර බස් රථය විෂබීජ හරණය කළ යුතුය.

මේ තොරතුරු ද දැනගන්න:

මේ සියල්ලට සමගාමීව බස් ගාස්තුවල සංශෝධනය ද 2020 නොවැම්බර් මස දී විය. මගීන් ගැන මෙන්ම බස් හිමියන් ගැන ද සලකා බලමින් ඉහත සංශෝධනය සිදු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

කෙසේනමුත් බස් සංගම් කීපයක් දිගින් දිගටම මෙම සංශෝධනවලට විරෝධය පාමින් සිටිති. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ බස් ගාස්තුව 50%කින් වැඩි කළ යුතු බවය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය සාර්ථක නොවීය.

"කොවිඩ් තත්ත්වය එක්ක පනවපු නීති රීති අපි මුලින් අකුරට ඉටු කළා. නමුත් දැන් ඒවා වැඩිපුර චෙක් වෙන්නේ නැහැ. මිනිස්සුත් ඒවා ලොකුවට පිළිපදින්නේ නැහැ. අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. අපිට බස්වල ලීසිං ගෙවන්න තියෙනවා, ඒවා නඩත්තු කරලා, බදු මුදල් සියල්ල ගෙවලා ඉවරවෙනකොට ඇතිවෙන්නේ පාඩුවක්. අමාත්‍යංශවලින් කියන සියල්ල අකුරට ඉටු කරලා, අපටත් අදාළ සහන පිළිවෙලට ලබා දෙනවනම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ," බස්රථ හිමිකරුවෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන‍යෙන් 80%ක් අයත් වන්නේ පෞද්ගලික අංශයටය. දුම්රිය ද ඇතුළුව රජයේ බස් ප්‍රවාහන සේවාවන් ඉටුකරන්නේ 20%ක සේවාවක් පමණි.

Coronavirus and public transportation in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මිනිස්සුන්ගෙත් හික්මීමක් තියෙන්න ඕනේ. නැත්නම් අපිටත් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ"

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යය දිලුම් අමුණුගම පැවසුවේ කිසිදු තත්ත්වයක් මත නැවතත් බස් ගාස්තු වැඩි නොකරන බවය.

"කොවිඩ් 19 වසංගතය නිසා සිදු කළ බස් ගාස්තු සංශෝධන ඉදිරියටත් පැවැත්වෙනවා. කෙසේනමුත්, උත්සව සමයේ දී සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුගමනය නොකරන බස් රථ අත්අඩංගුවට ගැනීමට පොලිස් රථ වාහන අංශයට උපදෙස් දී තිබෙනවා. නීති කැඩුව බස් රථ මාර්ග බලපත්‍ර 150ක් මේ වන විට තහනම් කර තිබෙනවා."

"බස් රථවල ආසන ගණනටයි මගීන් ගෙන යා යුතු වන්නේ. මෙය දුම්රිය මගීන්ගෙත් වගකීමක්. සමහර මගීන් පසුපස එන බස් රථ තිබිය දී හිටගෙන යන්න බස් රථවලට ගොඩවෙනවා. උත්සව සමයේ දී එකම දින සියලුදෙනා ගමන් කරන්න ගත්තොත් සියලුම බස් යෙදෙව්වත් ප්‍රමාණවත් වන්නේ නැහැ. බස් ඩිපෝවල ඇති කාල සටහන් නිරීක්ෂණය කරලා ගමනේ යෙදෙන්න කියලා ඉල්ලා සිටිනවා," රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බස් රථ පවතින්නේ මගීන් නිසා ඔවුන් ආරක්ෂා කර නිසි සේවයක් ලබා දීම අදාළ බස් රථ හිමියන්ගේ වගකීම බව කිරිබත්ගොඩ පදිංචි හේමන්ති දුණුවිල පැවසුවාය.

"මම බස්, කෝච්චි දෙකම නිතර භාවිත කරන කෙනෙක්. සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම මුල් කාලයේ දී අනුගමනය කරනවා දැක්කා. හැබැයි දැන් නම් බස් විතරක් නෙමෙයි මිනිස්සුත් ඒවා අමතක කරලා දාලා. බස් හිමියන්ගේ පාරිභෝගිකයන් විදිහට අපිට ඔවුන් සේවයක් ලබා දෙන්න ඕනේ. වැඩිපුර ගෙවන්නේ අදාළ සේවය බලාපොරොත්තුවෙන් නේ. හැබැයි මිනිස්සුන්ගෙත් හික්මීමක් තියෙන්න ඕනේ. නැත්නම් අපිටත් මේ වසංගතයෙන් ගොඩ ඒමක් නැහැ."

"එකට එකතු වෙලා පිළිවෙලකට මේ දේවල් සිද්ධ කළේ නැත්නම්, අපිට වෙන්නේ හැමදාමත් ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා, කොරෝනත් එක්කම මැරිලා යන්න," ඇය තවදුරටත් පැවසීය.

තවත් තොරතුරු: