ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පාලනය කර ඇත් ද? ආරක්‍ෂිත ක්‍රම ගැන ජනතාව දැනුවත් ද?

ශ්‍රී ලංකාව කොරෝනා වෛරසය පාලනය කර ඇත් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දින 67ක කාලයක් ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය මැයි 26වෙනි දින පළමු වරට මුළු දිවයිනටම ලිහිල් කෙරිණි
    • Author, දැහැමි රණවීර
    • Role, බීබීසී සිංහල

"දැන් මෙහෙ කොරෝනා නැහැ. අපිට දැන් බයක් නැහැ. අපේ නායකයෝ මේක හොඳට පාලනය කළා," මරදාන ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් වන ප්‍රියදර්ශිනී හේවාපතිරණ සිය අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරසය හේතුවෙන් පැනවූ සීමා සහ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ බොහෝ දෙනෙකු සිය සුපුරුදු රාජකාරිවල නිරත වන තත්වයක් දක්නට ලැබේ.

ඒ අතර, ඇතැමුන් විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවෙන් කොරෝනාවෛරස අවදානම පහව ගොස් ඇති බවය.

ශ්‍රී ලංකාවෙන් වසංගත බිය පහව ගොස් ඇත්ද යන්න සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පිළිබඳ සමාජයේ අවබෝධය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකි, මේ.

දැන් 'බිය' නැද්ද?

"බය තියෙනවා. හැබැයි අතේ සල්ලි නැතිවෙනකොට වෛරස් ගැන හිතන්න වෙලාවක් නැතිව යනවා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා, නෝනා වැඩ කරන්නෙත් නැහැ. කුලී වැඩ කරලා තමයි ජීවත් වුණේ. නමුත් දැන් කන, බොන එක පවා ප්‍රශ්නයක් වෙලා," වැලිවේරිය පදිංචි කේ සුගත් සිරිවර්ධන කියා සිටියේය.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "රජයෙනුත් අදාළ පහසුකම් සැපයීම අනිවාර්යෙන් කළ යුතුයි. නැත්නම් කොහොම ද මිනිස්සු ආරක්ෂිතව තමන්ගේ රාජකාරි කරගන්නේ"

මේ අතර, යාපනයේ වෙසෙන මහීමා ජෙගදීෂ්වරන් පැවසුවේ එම පළාතේ බොහෝ දෙනෙකුට වෛරසය ගැන බියක් ඇති නමුත්, දැනුවත් බව අවම මට්ටමක පවතින බවය.

"කොරෝනාවෛරස් එක ගැන සම්පූර්ණ දැනුමක් මෙහෙ ඉන්න ගොඩක් අයට නැහැ. වෛරස් එක නිසා ජන ජීවිතය මහා ලොකුවට වෙනස් වෙලා කියලා අපිට දැනෙන්නේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය.

කිසියම් පුද්ගලයෙකු මිය යන විට මිනිසුන් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමේ පියවර අනුගමනය කරන නමුත්, නැවත දින දෙකක් හෝ තුනක් ගතවන විට සියල්ල අමතක වූවා සේ හැසිරීම "පුදුමයක්" බව සමාජ සංවර්ධනය පිළිබඳ උපාධිධාරිණියක් වන තිලිණි පෙරේරා පැවසුවාය.

"කොරෝනාවෛරස් එක ලෝකයෙන් තුරන් වෙලා නැහැ කියන දේ අපි තේරුම් ගන්න ඕනේ. සල්ලි අවශ්‍යයයි තමයි, හැබැයි සල්ලි හොයන්න, වියදම් කරන්න අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ ගැන හිතේ තියාගෙන ඉවසීමෙන්, කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ."

"සමහර රටවල වගේ මේ ලෙඩේ සමාජය ඇතුළේ පැතිරිලා ගියොත් මෙතෙක් කල් කරපු සියලු දේ වතුරේ යනවා. අඩුම තරමේ හරියට එන්නතක් සොයා ගන්නකම් අපිට ඉවසන්න වෙනවා."

"හැබැයි රජයෙනුත් අදාළ පහසුකම් සැපයීම අනිවාර්යෙන් කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම්. නැත්නම් කොහොම ද මිනිස්සු ආරක්ෂිතව තමන්ගේ රාජකාරි කරගන්නේ," ඇය තවදුරටත් පැවසීය.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "කෝවිඩ් 19 රෝගය සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන්වීමක් වෙලා නැහැ"

කොරෝනාවෛරසය පැතිරීමේ තත්වය පාලනය කිරීමට නම් පසුගිය මාස කීපය තුළ අනුගමනය කළ ක්‍රමවේදයන්, චර්යාත්මක වෙනස්කම් ආදිය දිගින් දිගටම පවත්වාගෙන යා යුතු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

"මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, සියලු ව්‍යාපාර, ප්‍රවාහන අංශය සහ සමස්ථ සමාජය අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා," ඔහු තවදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාව කොරෝනාවෛරසය පාලනය කර ඇත්ද?

"කොරෝනාවෛරසය පැතිරීම රට තුළ පාලනය වී ඇති බවක් තිබෙන නමුත්, ලෝක ප්‍රස්ථාර්ය අනුව තවමත් අප රටේ කොරෝනාවෛරස රෝගීන්ගේ ගණන ඉහළට ගමන් කරන අතර, අපේ රට පවතින්නේ පිටතින් ඇතුළට වස දැමූ තත්ත්වයක්" යැයි වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන දහසකට අධික රෝගීන් අතරින් සැළකිය යුතු පිරිසක් විදෙස් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස බවය.

"රට ලිහිල් කිරීමත් සමග කොවිඩ් 19 රෝගය පාලනය කිරීමේ ක්‍රියාදාමය දිගටම කරගෙන යා යුතුයි. කෝවිඩ් 19 සීමාවන් තුළ ජීවත් වුණු ආකාරය ජනතාව හොඳින් දන්නා අතර දැන් අපි ගෙවමින් සිටින්නේ පූර්ව පශ්චාත් කෝවිඩ් සමයයි."

"එහිදී පෙර ජීවත් වූවාට වඩා වෙනත් අයුරකින් ජීවිතය හැඩගස්වාගැනීමට සියල්ලන්ටම සිදුවෙනවා. කෝවිඩ් 19 රෝගය සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන්වීමක් වෙලා නැහැ. එවැනි තත්වයක් එන්න තව විශාල කාලයක් ගතවෙනවා," වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේය.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "පෙර ජීවත් වූවාට වඩා වෙනත් අයුරකින් ජීවිතය හැඩගස්වාගැනීමට සියල්ලන්ටම සිදුවෙනවා"

මේ අතර, කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු කීපදෙනෙකු පැවසුවේ, මේ වන විට රෝහලට පැමිණෙන බොහෝ දෙනෙකුට පවා කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු පියවර පවා අමතක වී ඇති බවය.

විදෙස් රටවලින් පැමිණෙන අය සීමා කෙරේ ද?

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අතරින් 283 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පැවසීය.

හමුදාපතිවරයා පැවසුවේ, කුවේට් සිට පැමිණි 137 දෙනෙකු ඒ අතර වන බවය.

එම ආසාදිතයන් අතරින් බොහෝ දෙනෙකු කුවේට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට විශේෂ ගුවන්යානා ඔස්සේ ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයින් බව ද ඔහු පැවසීය.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද?

කොරෝනාවෛරසය හේතුවෙන් පැනවූ සීමා ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලතල බොහොමයක් ලබා දී ඇත. මේ අතර, විශේෂ නීති රෙගුලාසි ඔස්සේ ජනතාව පාලනය කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල පියවර ගනිමින් සිටිති.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් මැයි 26 දින සිට අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටතට යෑම නොකරන අතර, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නිරන්තරයෙන් කටයුතු කළ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

නිවසින් බැහැරට යන්නේ නම් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වීමත් සමග එය ක්‍රියාත්මක කරවීම ද පොලිසිය සතු රාජකාරියක් බවට පත් කර ඇත.

Coronavirus Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නමුත් පසුගිය දිනවල පැවති රාජ්‍ය සහ වෙනත් උත්සවල දී දේශපාලඥයන් මුහුණු ආවරණ පැළඳ නොසිටීම ගැන විවිධ විවේචන ද එල්ල විය.

මේ අතර, කොළඹ අක්ෂි රෝහලේ සේවිකාවක පැවසුවේ, විශාල කණ්ඩායමකට ආරක්‍ෂිත ඇඳුම් ලබා දී ඇත්තේ කීපයක් පමණක් වන බවය.

"අපේ කණ්ඩායමේ දහ දෙනෙක් ඉන්නවනම්, ආරක්‍ෂිත ඇඳුම් දීලා තියෙන්නේ හතරක් විතරයි. ඒවා මාරු කරලා ඇඳගන්න කියලා උපදෙස් ලැබිලා තියෙන්නේ. මේවා පිරිසිදු කරන එක හරියට වෙනවා ද කියන එක ගැන සැකයක් තියෙනවා," නම හෙළි කිරීමට අකමැති වූ ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවයේ නිරත ශම්මි ලොකුලියනගේ පැවසුවේ ඔවුන්ගේ ආයතනය සේවකයන්ගේ සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බවය.

"සමාජ දුරස්ථභාවය පවත්වාගෙන, නිසි ආරක්‍ෂිත ක්‍රම පිළිපදිමින් රාජකාරි කිරීම සම්බන්ධයෙන් අපේ ආයතනය සේවකයන් හොඳින් දැනුවත් කර තිබෙනවා. ඒ වගේම විවිධ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ඒ ක්‍රමවලට අපි ලෝකඩවුන් කාලය තුළ පවා වැඩ කරගෙන ගියා," ඇය තවදුරටත් පැවසුවාය.

රජයේ වගකිව යුතු පාර්ශවලින් වගේම මාධ්‍යවලින් දැනුවත් කිරීම් සිදු කළ ද ගම්මානවල බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව බේරුවල පදිංචි ෆාතිමා ෂෙලීන් පැවසීය.

"අපේ ගම්වල ගොඩක් අයට වෛරස් එක ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන කියන්න යන මිනිස්සු එක්ක රණ්ඩුත් වෙනවා. මේක කොළඹ සහ අවට පැතිරෙන එකක් විදිහට තමයි ඒ අය දකින්නේ. ඒ වගේම පොලිසියෙන් මේවා කිව්වට පස්සේ ආගම අනුව වෙනස්කම් කරනවා කියලා අනවශ්‍ය විදිහට තරහ අරගෙන මේ දේවල් වෙන පැත්තකට ගෙනියනවා," ඇය තවදුරටත් පැවසුවාය.

නවතම තත්වය

කොරෝනාවෛරසය පැතිරීම වැළක්වීම සඳහා මාර්තු 20 වෙනි දින සිට දින 67ක කාලයක් ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය මැයි 26වෙනි දින පළමු වරට මුළු දිවයිනටම ලිහිල් කෙරිණි.

මැයි 26 සිට සියලුම දිස්ත්‍රික්ක සඳහා අද සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වාය.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවතිය ද විවිධ සීමාවන්‍ට යටත්ව මහජනතාවත්, ව්‍යාපාරිකයන්ටත් එම දිස්ත්‍රික්කවලට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.

අත්‍යවශ්‍ය සේවා වල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ද අදාළ බලපත්‍ර රැගෙන පැමිණීමට අවසර ලබා දී ඇති ඇත. ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද විවිධ සීමා පනවා තිබේ.

"මෙවැනි ක්‍රම ලෝකයේ මේ වනතෙක් වාර්තා වී නැහැ, මේ තත්ත්වය මහජනතාව හොඳින් වටහාගෙන ඉදිරියේ දී මතුවිය හැකි ගැටළු අවම කර ගැනීමට කටයුතු කළ යුතුයි," වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

මේ තොරතුරුද කියවන්න: