කොරෝනා වෛරස එන්නත්: ධනවත් රාජ්‍ය අඩු ආදායම් රටවල එන්නත් නිෂ්පාදන සැලසුම් අවහිර කරන්නේ ඇයි?

A woman prepares to be vaccinated against Covid-19 in Dhaka, Bangladesh. Photo: February 2021

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ විශේෂඥයන් පවසන්නේ ගෝලීය ජනතාව ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් සමානව ලබා දීම අත්‍යවශ්‍ය බවය

කොරෝනාවෛරස වසංගතයට එරෙහි සටනේ විශාල ගැටලුවක් පැන නැගී ඇත: අපි වාර්තාගත කාලයක් ඇතුළත එන්නත් ගණනාවක් නිපදවා ඇත්තෙමු. නමුත් ඒවා ලබා දී ඇත්තේ ලෝකයේ කුඩා කොටසක පමණි.

මෙම එන්නත් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපය, චීනය, රුසියාව සහ ඉන්දියාව යන රටවල නිපදවා ඇත. එම රටවල් ද එන්නත් සැපයුම් මිල දී ගෙන ඇති හෙයින් ඒවා බොහෝ දුරට අදාළ රටවලම භාවිතයට ගෙන තිබෙන අතර මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල අවදානම් සහිත පුද්ගලයින් වෙනුවෙන් යවා ඇත්තේ සාපේක්ෂව කුඩා ප්‍රමාණයකි.

සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් පවසන්නේ අදාළ එන්නත් තමන්ටම නිපදවිය හැකි බවය. එයින් දුප්පත් රටවලට එන්නත් සැපයුම වැඩි කළ හැකිය.

එන්නත් නිපදවිය හැක්කේ කාහටද යන්න සීමා කරන පේටන්ට් බලපත්‍ර නීති ලිහිල් කරන ලෙස ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ලෝක වෙළෙඳ සංවිධානයට (WTO) පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එහෙත් මෙම පියවරට ධනවත් රටවල් සහ ඖෂධ සමාගම් විරුද්ධ වී ඇති අතර, එය වසංගතයට දක්වන ගෝලීය ප්‍රතිචාරය සහ අනාගත එන්නත් සංවර්ධනයට සැබවින්ම හානිකර වනු ඇතැයි තර්ක කරති.

නමුත්, ධනවත් රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල නිෂ්පාදනය 'අවහිර' කරන්නේ ඇයි?

මේ වන විට එන්නත් ඇත්තේ කා ළඟද?

Queues of people waiting for the vaccine at a centre in Cologne, Germany

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත් ලබා ගැනීමට බලා සිටින පුද්ගලයින්ගේ පෝලිම් බොහෝ ධනවත් රටවල හුරුපුරුදු දසුනකි

පෙබරවාරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ කොවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන 200 ක් පමණ ලබා දී ඇති නමුත් ඉන් 75% ක් ලබා දී ඇත්තේ ධනවත් රටවල් 10 ක ජනතාවට බවය.

බිලියන 2.5ක ජනගහනයක් වෙසෙන රටවල් 130කට පමණ තවමත් එක් එන්නත් මාත්‍රාවක්වත් හෝ ලැබී නොමැති බව උතුරු කැරොලයිනා ඩියුක් විශ්ව විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය හා මහජන ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ගැවින් යමි පැවසීය.

"ධනවත් ජාතීන් රාක්ක හිස් කර ඇති අයුරු දැකීම අතිශයින් කණගාටුවට කරුණක්. 'මට පළමුව' සහ 'මා පමණක්' යැයි කියමින් එන්නත් උදුරාගැනීමක් සිදුවෙලා තිබෙනවා. මෙය ඉතා අසාධාරණ දෙයක් පමණක් නොව එය මහජන සෞඛ්‍ය ගැන ඉතා වැරදි ආකල්පයක්," ඔහු බීබීසීයට පැවසීය.

කෙසේවෙතත්, සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා ධනවත් රාජ්‍ය අවම වශයෙන්, මූල්‍යමය සහයෝගය ලබා දී ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා බිලියන දෙකක් ලබා දීමේ ගෝලීය වැඩසටහන වන 'කොවැක්ස්' සහ එන්නත් සංවර්ධනය පිළිබඳ තොරතුරු සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් බෙදා ගැනීමේ වැඩසටහන වන 'කොවිඩ් -19 තාක්‍ෂණික ප්‍රවේශ සංචිතය (සී-ටැප්) යන දෙකෙන්ම පුළුල් ලෙස එන්නත් බෙදා හැරීමට බලාපොරොත්තු විය. නමුත් එම සෑම ව්‍යාපෘතියක්ම විවිධ ගැටලුවලට මුහුණ දී තිබේ.

කොරෝනාවෛරසයෙන් අවදානමට ලක්විය හැකි ජනගහනයට එන්නත් ලබා දීම සඳහා කොවැක්ස් වැඩසටහන යටතේ ක්‍රමවේදයන් ඇති නමුත්, එන්නත් සැපයුම් ලබා දීමට නොහැකි වීම නිසා මෙය ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇත්තේ ඉතා සුළු රටවල් ගණනකට පමණි.

ඒ හා සමානව, 2020 ජුනි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්මාණය කරන ලද සී-ටැප් වැඩසටහනට මෙතෙක් ලැබී ඇත්තේ ඉතා සුළු ප්‍රතිචාරයකි.

"අද වන විට කිසිදු තාක්‍ෂණයක් බෙදාගෙන නැහැ. කිසිවක් බෙදාගෙන නැහැ. වෙනත් වචන වලින් කිවහොත්, සී-ටැප් හි නිෂ්පාදන ගොනුව ශුන්‍යයි" යැයි MSF රාජ්‍ය නොවන සංවිධානයේ බාහිර සම්බන්ධතා අංශ ප්‍රධානී රාකෙල් ගොන්සාලෙස් පැවසීය.

"එය වක්‍රාකාරයෙන් එන්නත් නිෂ්පාදන ඉහළ නංවන වැඩසටහනක්. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට. නමුත් එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමිකරුවන් වන ඖෂධ සමාගම්වලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නැහැ."

එන්නත් නිෂ්පාදනය හා බෙදා හැරීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඉන්දියාවේ සේරම් ඉන්ස්ටිටියුට් හෝ දකුණු අප්‍රිකාවේ 'ඇස්පන් ෆාමකෙයාර්' සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් අතර වැනි ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති නමුත්, විචාරකයින් තර්ක කරන්නේ එය ගෝලීය වශයෙන් එන්නත් බෙදා හැරීමට ප්‍රමාණවත් නොවන බවය.

නිෂ්පාදනය අවහිර කිරීම යනු කුමක්ද?

Gloved hands drawing AstraZeneca vaccine from a vial with a syringe

ඡායාරූප මූලාශ්‍රය, BBC Sport

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ගේ වැසියන් සඳහා සැපයුම් මිල දී ගත් ධනවත් රටවල් මේ වන විට එන්නත් නිෂ්පාදනය කරනු ලැබේ

එන්නත් නිෂ්පාදනය පාලනය කරනු ලබන්නේ පේටන්ට් බලපත්‍ර නීතිය මගිනි. ඖෂධ සමාගම් නව ඖෂධයක් සොයාගෙන සංවර්ධනය කරන විට වෙනත් කිසිවෙකුට ඒවා නිෂ්පාදනය කළ නොහැකි බව සහතික කිරීම මෙයින් සිදුවේ.

නිෂ්පාදනය සහ මිල යන දෙකම පාලනය කිරීමට මෙයින් ඔවුන්ට ඉඩ සලසයි. එමඟින් දුප්පතුන්ට සහ රටවලට ඖෂධ ලබා ගැනීමට නොහැකි වී තිබේ.

වසංගතයේ කාලසීමාවේ දී එන්නත් සඳහා අදාළ වන බුද්ධිමය දේපළ අයිතිය අත්හිටුවන ලෙස දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉල්ලා ඇති අතර, එයින් පේටන්ට් බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමක් අපේක්ෂා කෙරේ.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් නිෂ්පාදනය වැඩි කිරීමට සහ ඔවුන්ගේ ජනගහනයට එන්නත් ලබා දීමට හැකි වන පරිදි තාක්‍ෂණය හා විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණ බව MSF සංවිධානයේ රාකෙල් ගොන්සාලෙස් පැවසීය.

"ඔවුන්ට රසායනාගාර ඇති බවත්, දැනුම බෙදාගනු ලැබුවහොත් නිෂ්පාදනය ආරම්භ කළ හැකි කර්මාන්තශාලා ඇති බවත් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව තර්ක කරනවා. දැනුම මේ මොහොතේ බෙදා නොගන්නේ නම්, එන්නත නිපදවිය හැකි වන්නේ පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලට පමණයි, "ඇය පැවසීය.

මේ ගැටලුව විසඳයිද?

කෙසේ වෙතත්, එම ක්‍රමයෙන් ද මේ වන විට නිපදවන එන්නත්වලට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ඖෂධ කර්මාන්ත විශේෂඥයෝ තර්ක කරති.

පවතින ගැටලුව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නොවන බව ඖෂධ නිෂ්පාදකයින් සහ සංගම්හි ජාත්‍යන්තර සම්මේලනයේ (IFPMA) අධ්‍යක්ෂ ජනරාල් තෝමස් කූනි පැවසීය.

එන්නත් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය හිඟය සහ ධාරිතාව වැනි බාධක මෙන්ම ඇති අතර විශේෂයෙන්ම අදාළ දැනුම නොමැතිවීම වැනි කාරණා ගැටලු ලෙස ඔහු ගෙනහැර දැක්වීය.

A man in PPE is working with vaccine vials in a factory

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පේටන්ට් බලපත්‍ර නීති අත්හිටුවීමෙන් පමණක් එන්නත් නිෂ්පාදනය වේගවත් නොවන බව ඖෂධ සමාගම් පවසයි

"පේටන්ට් බලපත්‍ර ගැන විවාදය, පේටන්ට් බලපත්‍ර ඉවත් කිරීම වගේ දේවලින් දැනට ඔබට දැනට වඩා එක මාත්‍රාවක්වත් ලබා දෙන්නේ නැහැ," ඔහු බීබීසීයට පැවසීය.

"ඔබට බෙදා ගැනීමට අවශ්‍ය වන්නේ ... කුසලතා සහ අමුද්‍රව්‍ය. ඔබට ඕනෑම බක්කරේ කෙනෙක්ගෙන් කේක් සඳහා වට්ටෝරුවක් ලබා ගන්න පුළුවන්. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔබ ඒ කේක් එක හදන්න දන්නා බව."

එපමණක් නොව, ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන ඖෂධ සමාගම් ජනාධිපති ජෝ බයිඩන්ට වෙත ලිපියක් යවමින් කියා සිටියේ පේටන්ට් බලපත්‍ර ලිහිල් කිරීම මගින් එන්නත් නවෝත්පාදන හා ආයෝජනවලට බාධා ඇති වීමට වඩා වැඩි යමක් සිදු විය හැකි බවය.

එවැනි පියවරක් අනුගමනය කිරීමෙන් එන්නතේ ආරක්ෂාව පිළිබඳ මහජන විශ්වාසය අඩු කර, ව්‍යාකූලත්වයක් ඇති වී "වසංගතයට ඇති ගෝලීය ප්‍රතිචාරය අඩපණ කරනු ඇතැයි" අදාළ ලිපියේ සඳහන් වේ.

ඉතිහාසය පුනරාවර්තනය වේද?

සංවර්ධනය වෙමින් පවතින රටවලට ඖෂධ ලබා ගැනීමට ඉඩ ලබා දීම සඳහා පේටන්ට් බලපත්‍ර ලිහිල් කරන ලෙසට ඉල්ලීම් කළ පළමු වතාව මෙය නොවේ.

අනූව දශකයේ අප්‍රිකාව එච් අයි වී වසංගතයෙන් පීඩා විඳිද්දී එම මහාද්වීපයේ විවිධ රජයන් ජීවිතාරක්ෂක ප්‍රතිවෛරස ඖෂධ සඳහා තිබූ පේටන්ට් බලපත්‍ර ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

Life-saving antiretroviral drugs used to treat HIV/AIDS

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජීවිතාරක්ෂක ප්‍රති-වෛරස ඖෂධ සෑම කෙනෙකුටම දැරිය හැකි මට්ටමක තබා ගැනීමට දශකයක් ගත විය

අදාළ ඖෂධ නිෂ්පාදනය කළ සහ ඒ වන විට භාවිත කරමින් සිටි ධනවත් ජාතීන් මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහ.

ඉන්පසු, ඖෂධ සමාගම් දැවැන්තයින් මිල නියම කිරීමකින් තොරව අඩු ආදායම්ලාභී ජාතීන්ට ඒවා ලබා ගැනීමට වසර දහයක් ගත විය.

මෙම තත්ත්වය නැවත ඇතිවීම වළක්වාලීමට වර්තමාන වසංගතයේදී කොවැක්ස් සහ සී-ටැප් වැනි වැඩසටහන් නිර්මාණය කෙරිණි. ඖෂධ සමාගම් සහ රජයන් පෙන්වා දෙන්නේ එවැනි වැඩසටහන් සඳහා මූලම්‍ය වශයෙන් ඔවුන් උදව් කර ඇති බවය.

එහෙත් එම මුදල් ද වෙනත් දිශාවකට ගලා ගොස් ඇත.

එන්නත් නිෂ්පාදකයින්ට ඔවුන්ගේ එන්නත් නිපදවීම සඳහා මහජන හා ලාභ නොලබන අරමුදල්වලින් ඩොලර් බිලියන 10 ක් පමණ ලැබී ඇති බව 'ලැන්සෙට්' නම් වෛද්‍ය සඟරාවේ පෙබරවාරි මාසයේ පළ වූ වාර්තාවක දැක්වේ.

මෙම ව්‍යාපෘතිවල දත්ත බොහොමයක් හෙළි නොවන බැවින් මෙම සංඛ්‍යාව අඩු තක්සේරුවක් විය හැකි යැයි වාර්තාවේ දැක්වේ.

විචාරකයින් තර්ක කරන්නේ ඖෂධ සමාගම්වලට මහජන මුදල් බිලියන ගණනක් ලැබී ඇත්නම් ඔවුන්ගේ තාක්‍ෂණය බෙදාහදා ගැනීමේ යුතුකමක් ඇති බවය.

මීට අමතරව, වසංගතය අවසන් වූ වහාමත් ඔවුන්ට විශාල මුදලක් ඉපයිය හැකි බව ක්‍රියාකාරීහු පවසති.

ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබඳ ක්‍රියාකාරිනියක සහ බුද්ධිමය දේපළ නීති උපදේශක එලන් හෝඑන් බීබීසී සේවයට පැවසුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ද "කොටසක්" ලබා දිය යුතු බවය.

"වසංගතයේ වඩාත් හදිසි අදියර අවසන් වූ වහාම මේ එන්නත්වල මිල ඉහළ නැංවීම ඔවුන්ගේ දිගුකාලීන සැලැස්ම බව පැහැදිලියි. මෙය, සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ එන්නත් නිපදවීමේ හැකියාව ලබා ගත යුතු යැයි පැවසීමට තවත් හේතුවක්."

"ඇත්ත වශයෙන්ම මෙයට තවත් පැතිකඩක් තිබෙනවා. ඔබ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල හෝ සියලුම ප්‍රදේශවල එන්නත් නිෂ්පාදනය පිළිබඳ දැනුම වැඩි කළොත්, ඊළඟ වසංගතය සඳහා වඩාත් හොඳින් සූදානම් වීමට ඔබ උදව් කරනවා" යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය

World Health Organization head Dr Tedros Adhanom Ghebreyesus

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර"

"එන්නත් වර්ණභේදවාදය" ලෙස නම් කර ඇති මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය "විනාශකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයක අද්දර" සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයේසස් ජනවාරි මාසයේදී කියා සිටියේ දුප්පත් රටවල අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට පෙර ධනවත් රටවල තරුණ, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට එන්නත් ලබා දීම සාධාරණ නොවන බවය.

ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ "මම පළමුවෙන්" යන ප්‍රවේශය ස්වයං පරාජයක් වනු ඇති අතර, එය එන්නත් මිල ගණන් ඉහළ නැංවීම සහ රැස් කිරීමට දිරිමත් කරන බවය.

"අවසානයේදී, මෙම ක්‍රියාවන් නිසා වසංගතය, එය මැඩ පැවැත්වීමට අවශ්‍ය සීමාවන් සහ මානව හා ආර්ථික දුක් වේදනා දීර්ඝ වෙනවා." ඔහු වැඩිදුරටත් කීය.

මේ තොරතුරුද කියවන්න: