කොවිඩ් - 19: ශ්‍රී ලංකාවේ රෝගීන් සංඛ්‍යාවේ සීග්‍ර වර්ධනය හමුවේ රට කෙතරම් සුදානම්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, රංග සිරිලාල්
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාව තුළ දිනකදී හමුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවා පසුගිය දිනවල හමුවීමත් සමඟ මේ වන විට රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම්වල ධාරිතාව උපරිම මට්ටමකට පැමිණෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පැවසූහ.
මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

පසුගිය දින 10ට ආසාදිතයින් 13,000ක් හමුවී ඇති බව පවසන ඔහු, කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්‍ෂණ සිදු කරනු ලැබුවද රසායනාගාර වාර්තා ප‍්‍රමාදවීම නිසා දෛනිකව ප‍්‍රකාශයට පත් කෙරෙනුයේ සැබෑ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නොවන බව කියා සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටී.
බ්‍රිතාන්‍යයේ පැතිරෙන B.1.1.7 යන කොරෝනා වෛරස ප්‍රභේදය මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හමුවී ඇති බවත් ඉන්දියාවේ පැතිරෙන වෛරස් ප්‍රභේදය මේ වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් හමුවී නොමැති බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දිම ජිවන්දර මාධ්‍ය හමුවේ පැවසීය.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ පැවසුවේ තරුණ පරපුර මෙම නව ප්‍රභේදයේ ගොදුරක් වී ඇති අතර මේ වන විට කොවිඩ් රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකකක ධාරිතාව උපරිම මට්ටමකට ළඟාවී ඇති බවය.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, රජයේ රෝහල් 1105 ක් ඇත. ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයින් 1000 කටම ඇඳන් 3.5 ක් ඇති අතර පුද්ගලයින් 1,117 කට එක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සහ පුද්ගලයන් 10,000 කට හෙදියන් 17.2 ක් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ රෝහල්වල ඇඳන් 74526 ක් ඇත. ඇඳන් 5120 ක් සහිත පෞද්ගලික රෝහල් 200 ක් ද ඇත. ශ්‍රී ලංකාවේ දැඩිසත්කාර එකක (ICU) ඇඳන් 700 ක් ඇති අතර, එම ඇඳන් වලින් 146 ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇත බවට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකරයි.
ඔක්සිජන් පහසුකම්
මේ වන විට රට තුළ ඇති ආයතන දෙකකින් නිපදවන ඔක්සිජන් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සමස්ත වෛද්‍ය පරිභෝජනය මෙන් තුන්ගුණයක් බව එම ආයතන දෙකේ නිලධාරීහු බීබීසී සිංහල සේවය සමග පැවසූහ.
දැනට ශ්‍රී ලංකාවේ දෛනික වෛද්‍ය ඔක්සිජන් අවශ්‍යතාව දිනකට ටොන් 35 කි. ශ්‍රී ලංකාවට ඔක්සිජන් නිපදවන සමාගම් දෙකෙහි දෛනික ඔක්සිජන් නිපැයුම් හැකියාව ටොන් 90 ක් වේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඔක්සිජන් නිෂ්පාදන ආයතන දෙකෙන් එක් ආයතයක් වන ඉන්ඩ්ස්ට්‍රියල් ගෑස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් ගුරුගේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ සිය සමාගම මෑතකදී ධාරිතාව ඉහළ නංවා ඇති බැවින් දැනට සපයන ප්‍රමාණය මෙන් තුන් ගුණයක් සැපයීමේ හැකියාව ඇති බවකි.
රටට අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් නිෂ්පාදනය කරන නමුත් ඔක්සිජන් සැපයීමට අවශ්‍ය ටැංකි වැනි යටිතල පහසුකම් වල හිඟයක් ඇතැම් රෝහල්වල පැවතිය හැකි බව එම සමාගම් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මේ වන විට රෝහල්වලට අඛණ්ඩව ඔක්සිජන් සැපයීම සඳහා රජයේ රෝහල්වලට නව ටැංකි සැපයීමත් සමඟ රෝහල්වල යටිතල පහසුකම් වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවයි.කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය සැලකීමේදී දිවයිනේ ඕනෑම රෝහලකට දිනක් තුළදී ඔක්සිජන් සැපයිය හැකි බව ඔහු තවදුරටත් පැවසීය.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ "දැනට හඳුනාගන්නා රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ අය. එය යම් ආකාරයකට අවදානම් තත්ත්වයක් වගේම වහාම ඔක්සිජන් තොග ගබඩා කර ගත යුතුයි කියන මතයේ තමයි අපි ඉන්නේ. අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුවත් කළා මේ සදහා අවශ්‍ය තොග පවතිනවද නැතිනම් ඒ සඳහා සාමාන්‍ය රෝහල් සේවාවන් පවත්වාගෙන යන්නේ කෙසේද, ඔක්සිජන් අතිරික්ත සංචිත පවත්වාගැනීමේ වැදගත් කමත් සාකච්ඡා කරලා ඒ සදහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා." යනුවෙනි.
වෛරසයේ වත්මන් තත්ත්වය
පවතින තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ කළ ශ්‍රී ජවර්ධනපුර විශ්විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අංශ ප්‍රධානී මහාචාර්‍ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නේ සීඝ්‍රයෙන් ඉහළ යන ආසාදිත සංඛ්‍යාව හේතුවෙන් රට ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට පත්ව තිබෙන බවකි.
"මෙහිදී වඩාත් වැදගත් වන්නේ සෞඛ්‍ය අංශය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාමයි," ඇය පැවසීය.
"අද අප මේ මුහුණ දෙමින් සිටින්නේ, අනෙකුත් සියලුම රටවල් B.1.1.7 ප්‍රභේදය හඳුන්වා දීමෙන් පසු අත්විදි අවස්ථාවටයි. මෙම ප්‍රභේදය ඉතා ඉහළ සම්ප්‍රේෂණ අගයක් සතුයි. එම නිසාම ආසාදිත සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීමත්, මෙම ආශ්‍රිත රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ ගණන වර්ධනය වීමත් හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අසීරුතාවයකට පත් විය හැකියි."
"මෙම ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ අනෙක් රටවල්හි ආසාධිතයන් වර්ධනය වූ හැටි බලන්න. සංඛ්‍යා ඉහළ ගියේ නොසිතු අයුරින්. අපේ රටේ දැන් සිදුවෙමින් පවතින්නේද මෙම තත්ත්වයමයි."
ඇය තවදුරත් පැවසුවේ එක්සත් රාජධානියේ ප්‍රභේදය, B.1.1.7, පළමු ප්‍රභේදයට වඩා වේගයෙන් පැතිරීමට උපකාරී වන විකෘතිතා පවතින බවය. එබැවින් එය මුල් ප්‍රභේදයට වඩා වැඩි වේගයෙන් පැතිරේ.

ඉදිරි සති කිහිපයේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුවේදැයි යන පැනයට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ "එය තීරණය වන්නේ මෙය පාලනය කිරීම සදහා යොදා ගන්නා ක්‍රමවේදයන් මතයි. බලධාරින් දැනටමත් නොයෙක් සීමාවන් පනවා තිබෙනවා. ප්‍රිය සම්භාෂණ, උත්සව යනාදිය තහනම් කිරීම අවස්ථාවේ හැටියට ඉතා හොඳ පිළියමක්. දැනට ක්‍රියාත්මක වෙමින් පවතින මෙම පිළියම්වල බලපෑම කෙසේද යන වග බලා ගැනිමට තව සති දෙකකින් පමණ හැකි වෙයි."
"ඉන්දියාව හා නේපාලය අත්විදින කනගාටුදායක තත්ත්වය අපිට පෙනෙනවා. අනෙක් ප්‍රභේදයන් රට තුළට පැමිණීම වලක්වා ගැනීමේ වගකීම අප සතුයි."
වෛරසය සම්ප්‍රේෂණය අඩු කිරීමට කළ යුත්තේ කුමක් ද?
මිනිසුන් එකිනෙකා සමඟ කටයුතු කිරීම වැළැක්වීම හෝ අවම කිරීම, නිවසේ සිට වැඩ කළ හැකි සියලුම පුද්ගලයින් නිවසේ සිට වැඩ කළ යුතු අතර සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ සඳහා සැලැස්මක් සකස් කිරීමට උත්සාහ කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාවේ මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අඩු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස මහාචාර්ය නීලීකා මලවිගේ පෙන්වා දුන්නාය.
"අත්‍යවශ්‍ය වැඩ වලට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට හැර මිනිසුන් නිවසින් පිට නොවිය යුතුයි."
"කෙසේ වෙතත්, මා දකින අයුරින්, ආසාදිතයන් ගණන හැකි පමණින් අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතුව තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමකදී අවම වශයෙන් දින 7ක් හෝ වැඩි ගණනක් රෝහලේ රැඳෙනවා. මෙය ඩෙංගු වැනි අනෙක් බෝවන රෝග වලට වඩා බොහෝ සෙයින් වෙනස් තත්ත්වයක්. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත්වන බව මම යළි යලිත් කියන්නේ එම නිසයි. මෙවැනි අවස්ථාවකදී සෞඛ්‍ය අංශයට ක්‍රියාත්මක විය හැකි සීමාවන් තිබෙනවා. එම සීමාවට පැමිණි පසු සිදුවන්නේ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. එම තත්ත්වය වලක්වා ගැනීම හා අවම කර ගැනීමට ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගත යුතු වනවා."
දිගු කාලීනව ගතහැකි හොඳම පිළියම එන්නත්කරණයයි. කෙසේ වෙතත්, එන්නත ලබා දීමෙන් පසු, ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය මගින් ආරක්ෂාව සැපයීම සඳහා අවම වශයෙන් දින 21 වත් ගත වෙන හෙයින් දැනට උද්ගතව ඇති තත්ත්වය සඳහා පිළියමක් ලෙස එන්නත භාවිතා කල නොහැකි බවට ඇය පැවසීය. මෙම තත්ත්වය හැකි අයුරින් පාලනය කලයුතු අතර දිගු කාලීනව පිළියමක් ලෙස එන්නත ලබා දිය හැකි බවට ඇය පැවසීය.

නව වෛරස ප්‍රභේදය වාතයෙන් පැතිරෙන්නේද?
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ පවසන පරිදි නව ප්‍රභේදයේ බිඳිති වාතයේ පැයක පමණ කාලයක් පවතින බවට නවතම පර්යේෂණ වාර්තාවන් පෙන්නුම් කරයි.
ආචාර්ය චන්දිම ජිවන්දර පවසන්නේ ඉතා කුඩා බිඳිති වාතයේ වැඩි කාලයක් පාවීම නිසා මෙය වාතය මගින් බෝවන ප්‍රවනතාවක් පෙන්නුම් කරන බවය. බොහෝ විට සංවෘත ස්ථානයන් හිදී සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි අතර විවෘත හා එළිමහන් ස්ථානන්යන් හි දී වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු බව ද ඔහු කියා සිටියේය.
එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසන්නේ වෛරසය වාතය මගින් ව්‍යාප්තවිමක් පිළිබඳ විවිධ වාර්තා පළවූවත් මෙතෙක් එය තහවුරුවී නොමැති බවකි. එය සම්ප්‍රේෂණය වීමේ ප්‍රධානම ක්‍රමය නම් මිනිසුන් සමීපව සිටීම හෝ සෘජු සබඳතා බව ද ඔවුහු පවසති.

ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන්, සංවෘත ස්ථානවලට සීමා වී සිටිමෙන් සහ සමීප සම්බන්ධතා පවත්වාගැනීමෙන් වැළකීම මෙන්ම පුද්ගල දුරස්ථභාවය, සමූහයන් ලෙස රැස්නොවීම, කිවිසිමේ දි හා කැස්ස ඇතිවිටදී භාවිත කළ යුතු චර්යා රටා අනුගමනය කිරීම, විෂබීජහරණ පිළිවෙත්, දෑත් සේදීම, විෂබීජ නාශක දියර යෙදීම හා නිසි අන්දමට මුව ආවරණ පැළඳීම මගින් මෙම වෛරසය බෝවීම අවම කිරීමට හැකි බව බොහෝ සාක්ෂි සහිතව ඔප්පු කර ඇති ක්‍රම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පැවසීය.
රජය ගෙන ඇති පියවර
පවත්නා තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවරයන් ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ බීබීසී සිංහල සේවය සමඟ පැවසුවාය.
"අපි ICU එකට ගෙන්න කලින් නවත්තගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පැතිරීම වලක්වගන්න. නමුත් ICU capacity (ධාරිතාව) එකත් වැඩිකරගෙන යනවා. ඒවාවල පොඩි පොඩි අඩුපාඩු තියෙනවා සමහර ඒවා වල staff අඩුයි. ඒවා හදාගෙන යනවා. අදාළ නර්ස්ලා ලබාදීලා ඒ වැඩකටයුතු කරගෙන යනවා. වැඩියෙන්ම ඕන hydro oxygen නේ එක නිකන් ward එකක bed එකක් උඩ හරි ඔක්සිජන් දෙන්න පුළුවන් නේ ඒ ටිකට සුදානම තියෙනවා."
"වසංගත තත්ත්වය ප්‍රබලව පැවතුනොත් එය අපේ ධාරිතාවය ඉක්මවායාමේ ප්‍රබල ඉඩක් තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලන්නේ තවමත් මේ කාරණය තේරුම් අරගෙන නැතිනම් සංචරණය සීමා කරන්න. ඒ වගේම මුවආවරණ පැළඳීම දුරස්ථභාවය වගේම විෂබීජහරණ ක්‍රියාවලියට අනුගත වෙන්න කියන කාරණය තමයි අපි ඉල්ලන්නේ."
මේ අතර සෞඛ්‍ය පහසුකම් ධාරිතාව උපරිම මට්ටමට පැමිණීම හේතුවෙන් ආයුර්වේද රෝහල් වෙත ද කොරෝනා රෝගීන් හට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට අවසර දී තිබේ.










