කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක "උපරිම ධාරිතාවට ළඟා වෙයි"

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය ; ශ්‍රී ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවට ළඟා වෙයි

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ ඇති දැඩි සත්කාර ඒකක මේ වනවිට උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

දැඩි සත්කාර ඒකකවල ඇති ඇඳන් සංඛ්‍යාව 600 -700 අතර අගයක පවතී. කොවිඩ් රෝගීන් මෙන්ම වෙනත් රෝගීහු ද එම දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මාවනැල්ල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සහෝදරයෙකු මිය යෑමේ සිදුවීමක් අප්‍රේල් 25 දින වාර්තා විය.

කොවිඩ් රෝගීන් සඳහා ඇඳන් එකසිය තිස්ගනණක් වෙන්කර ඇති අතර දැනට පවතින අඩුපාඩු සකස් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියාය.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් පැතිරී යන කොරෝනා වෛරසය එංගලන්තයේ දක්නට ලැබෙන B 1 1 7 ප්‍රභේදය බවට පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ තිබේ.

කොරෝනා වෛරසයේ සාමාන්‍ය ප්‍රභේදයට වඩා එමගින් මරණ සිදුවීම 55% දක්වා ඉහළ අගයක පවතී. එමෙන්ම කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවීමේ හැකියාව ද සාමාන්‍ය ප්‍රභේදයට වඩා 50% දක්වා වැඩි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.