ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වැඩිවීමක්: "දවසකට රෝහලට ඇතුළු වෙන රෝගීන් ගණන සෑහෙන්න වැඩි වෙලා"

රෝහල්ගතකර සිටින කෝවිඩ් රෝගීන්

මේ දිනවල බස්නාහිර පළාතේ රෝහල් වලට පැමිණෙන ආසාදිතයන්ගේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කිරීම ඉතාමත් බැරෑරුම් තත්වයක් බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජනතාව සැලකිලිමත් නොවුනහොත් නැවත වරක් රට අගුලු දැමීමක් දක්වා තල්ලුවිය හැකි බවට දැඩි අනතුරු ඇඟවීමක් කරයි.

"දවසකට රෝහලට ඇතුළු වෙන රෝගීන් ගණන සෑහෙන්න වැඩි වෙලා. සමහර මිනිස්සුන්ගේ ලෙඩේ සොයාගන්න කළින්ම මැරෙනවා. අපට ඔක්සිජන් තියෙන්නෙත් සීමිත ප්‍රමාණයක්. ඇඳන් මදි නිසා බිම පැදුරුවල තමයි කොවිඩ් රෝගීන්ව දාලා තියෙන්නේ," රජයේ රෝහලක කොවිඩ් 19 රෝගීන් සිටින වාට්ටුවක සේවයේ නිරත වෛද්‍යවරියක බීබීසී සිංහල සේවයට පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, මේ වන විට පවතින්නේ කිසිසේත් "සැනසීමකට පත් විය නොහැකි" තත්වයක් බවය.

ශ්‍රී ලංකාවේ රෝහලක කෝවිඩ් රෝගීන්

"පහුගිය දින කිහිපය තුළ රෝගීන්ගේ වැඩිවීමක් හොඳටම දකින්න ලැබෙනවා. මේ වන විට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් ගණනාවකටම රෝග ලක්ෂණ සහිතව යන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. නැවත නැවතත් රෝගීන් වැඩිවෙනවා. ඒ වගේම තමයි ඒ වැඩිවීම අපිට පාලනය කරගන්න බැරිඋනොත් නැවත නැවතත් සංචරණ සීමා ආදී නීති රීති වලට යටත්වන්නට අපිට පමණක් නොවෙයි ලෝකයේ දියුණු රටවලටත් මේ වෙනකොට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපි ඒක හොඳින් හිතට ගෙන කටයුතු කළ යුතුයි," යනුවෙන් ඔහු කියා සිටියේය.

"ඕනෑම අවස්ථාවකදී මෙවැනි අර්බුදකාරී තත්වයකදී රට වැසීමක් තුළින් පමණක් මේක පාලනය කළ යුතුයි යන තත්වයට පත් වුවහොත් විතරක් එවැනි අවස්ථාවකදී එවැනි දෙයක් කරන්න සිද්ද වෙනවා. අපි හැම වෙලේම මේ දීල තියෙන සංචරණ සීමා ලිහිල්කිරීම, සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල්කිරිම අපි ඉතාමත් ම සැලකිල්ලෙන් වගකීමකින් භාවිත කරමින් අපේ අත්‍යවශ්‍ය ආර්ථික සහ සමාජීය කටයුතු කරගැනීමට පමණක් කරගන්න කියලත් රෝගය වැඩිවීම අවම කරන්න, සියලුදෙනා වගකීමකින් කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා."

health ministry epid unit

ඡායාරූප මූලාශ්‍රය, https://epid.gov.lk/

මෙම ශීඝ්‍ර වර්ධනය පෙන්නුම් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය නිසා යැයි තහවුරු වී නැතත්, රටේ මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන බවත් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන රෝගීන්ගෙන් සියයට 20ක් 30ක් පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යයි ජයවර්ධපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණ වලින් හෙළිවී ඇති බවත් ඔහු පැවසීය.

මේ වන විට රෝහල් 224 ක ඇඳන් 32831ක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර, එයින් ඇඳන් 26492ක රෝගීන් සිටින බවත් දැඩිසත්කාර ඇඳන් 77ක රෝගීන් සිටින බවත් ඔහු පැවසීය.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ "ඔක්සිජන් මේ වන තෙක් අපට කලමනාකරනය කරගත හැකියි. එහෙත් ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුයි." යනුවෙනි.

daily report

ඡායාරූප මූලාශ්‍රය, Health ministry sri lanka

ජුලි 29 වන දිනය තුළ කොරෝනාවෛරසය ආසාදිතව සිදුවූ මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ අතර එම දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329 බවට සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබේ.

මෙම මරණ 66ම ජුලි මස 28 වනදා සිදුවී ඇති අතර එයින් 25 දෙනෙකු කාන්තාවන්ය. මියගිය පුද්ගලයින්ගෙන් 17 දෙනෙක් අවුරුදු 30 ත් 59ත් අතර වයස් ඛාණ්ඩයේ වන අතර සෙසු පුද්ගලයින් 46 දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අය බව නිල දත්තවල දැක්වේ.

ඒ සමඟම ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දින කිහිපයේදී වාර්තා වූ දෛනික කොවිඩ් මරණ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එය තහවුරු කරති.

"කලින් මුහුණ දීපු රැලි දෙකටම වඩා බැරෑරුම් තත්වයක අපි දැන් ඉන්නවා. මේ රෝගීන් වර්තාවෙන්නේ PCR වලින් නෙමෙයි antigen වලින් එන ප්‍රථිපල, ප්‍රතිදේහ ජනක පරීක්ෂණ එතරම් ම සාර්ථක නෑ. එහෙම තිබිලත් ඒ වලින් සහ ඇත්තටම රෝහල් වලට ගිය අය ගෙන් තමයි මේ වාර්තා වෙන්නේ," මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"අපි යම් විදිහකින් කලින් තිබුන තත්වයට ගියොත් 4000කටත් වැඩි මට්ටමකට යනවා කියන එක තමයි අපේ ඇස්තමේන්තුව. මේ තත්වය භයානකයි. භයානක තත්වයක ආරම්භයක තමයි දැන් මේ ඉන්නේ."

කියවන්න:

රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ දිනකට මිය යන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය දින කිහිපය තුළ ම 50 කට අධිකවීම ඉතාමත් බැරෑරුම් තත්වයක් බවයි. මෙම තත්වය දිගටම පැවතුනහොත් මසක් ඇතුළත රෝගීන් 4000ත් 4500ත් අතර ප්‍රමාණයක් මිය යා හැකි බවට ඔවුන් ඇස්තමේන්තු කරන බවයි.

"යුද්ධය පැවති සමයේදිවත් මෙතරම් ප්‍රමාණයක් මිය ගියේ නෑ. ජනතාව තේරුම් ගන්න ඕන මේක ඉතාමත් භයානක අවස්ථාවක් කියල," යනුවෙන් ඔහු පැවසීය.

"වාර්තාවන රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන්. ඒ නිසා අපි යම්කිසි අයුරකින් ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වනවා ද යන්න සැක සහිතයි. මේ වන විට ජාතික රෝහලේ ඇඳන් සංඛ්‍යාව සම්පුර්ණයෙන්ම පිරී ගිහිල්ලා තියෙනවා. රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා යන්න ඉතාමත්ම ආසන්නයි. ඒ වගේම ළමා රෝහලේ සම්පූර්ණ ඇඳන් සංඛ්‍යාවට වඩා රෝගීන් සංඛ්‍යාව වාර්තාවීම ගැටලුකාරී තත්ත්වයක් වෙලා තියෙනවා," යනුවෙන් ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ගෙවුණු පැය විසි හතර තුළ පීසීආර් පරීක්ෂණ 14147ක් සිදුකර ආසාදිතයින් 2370ක් හඳුනාගෙන ඇති බවත් එයින් 396 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, 368 දනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන්, 220ක් කළුතර, 200 දෙනෙකු ගාල්ල හා 179 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී ඇති අතර විදේශගතව සිට මෙරටට පැමිණි 41 දෙනෙකුත් මේ අතර වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්නුම් කරයි.

මෙයට පෙර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ජුනි මස 23වන දාය; එදින ආසාදිතයන් 2196 ක් වාර්තා වී තිබිණ.

ජුලි 29 වන දින හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,329ත් සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 304,151ක් දක්වා ඉහළගොස් තිබේ.

පසුගිය දින කිහිපයේදී වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්

එමෙන්ම සිකුරාදා (ජුලි 30) දිනය තුළ කෝවිඩ් ආසාදිතව සිටි 1,641ක් සුවය ලබා ඇති බවත් මෙතෙක් සුවය ලැබූ සමස්තය 273,496ක් ලෙස වාර්තා වෙයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කියවන්න: