ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සහ රෝහල් ධාරිතාව ඉක්මවා යාමත් සමග නව සීමා කිහිපයක්

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමේ කොරෝනාවෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් රෝහල් ගත වීමත් සමග පැනනැගී ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් පසුගිය දා ලිහිල් කළ සංචාරණ සීමා සහ සෞඛ්‍ය රෙගුලාසි නැවත වරක් දැඩි කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම නව සංශෝධන සිකුරාදා (අගෝස්තු 06) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන බව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මාධ්‍ය වෙත පැවසීය.
මෙසේ දැඩි කළ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව අවමංගල සහ විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ නැවත සංශෝධනය කර තිබෙන අතර සියලුම රජයේ සේවකයන් නැවත සේවයට කැඳවීමට නිකුත් කළ චක්‍රලේඛයද වෙනස් කිරීමට ජනාධිපතිවරයා සමග පැවති හමුවේ දී තීරණය කර ඇත.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ හමුදාපතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය පහත පරිදි වේ.
- උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකු පමණි
- උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගි විය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි
- අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගි වියහැකි උපරීම සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කෙරේ
- කාර්යමණ්ඩල රාජ්‍ය සේවය සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණක් ලෙස සංශෝධනය කෙරේ
- සියලුම රාජ්‍යය උත්සව සැප්තැම්බර් 01 දක්වා කල් දැමේ

ඒ අනුව ලබන සඳුදා (09) සිට රජයේ සේවකයන් කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට ලබාදී ඇති අතර සියලුම රාජ්‍ය උත්සව ද සැප්තැම්බර් 01 වනදා තෙක් කල්දැමීමට මෙහිදී තීරණය කළ බවට යුද හමුදාපතිවරයා පැවසීය.

මේ ගැනත් කියවන්න :






