X-Press Pearl නැවේ නඩුවේ අලුත්ම තොරතුරු: වාරකන් නිසා කැස්බෑවුන් මිය ගිය බව පිළිගන්න බැහැ - නීතිපති දෙපාර්තමේන්තුව

Wildlife officials carry away the carcass of a turtle that was washed ashore at the beach of Angulana, south of Sri Lanka's capital Colombo on June 24, 2021. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට පත් වීමෙන් සිදුව ඇති පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176, තල්මසුන් 04 සහ ඩොල්ෆින් 20 දෙනෙකු මේ දක්වා මිය ගොස් ඇතැයි නීතිපතිවරයා බදාදා (ජුනි 30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් පැවසුවේ මෙම මරණ "වාරකන් කාලය" හේතුවෙන් සිදුව ඇතැයි ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බවය.

මෙම මරණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් ද නිර්දේශ කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක මේ වන විට විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, සාගර දුෂණය ; මියගිය තල්මසෙකු සහ කැස්බෑවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසයි

ඊට අමතරව මෙම සත්ව මරණ පිළිබඳව නාරා ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන ගණනාවක් හරහා පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, මෙම ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ වරායේ 'හාබර් මාස්ටර්වරයාගේ' කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳ විමර්ශනයක් කරන ලෙස නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලීමක් කර තිබූ බව පැවසීය.

එම ඉල්ලීමට අනුව අධිකරණය විසින් ලබා දුන් නියෝගය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ වරායේ 'හාබර් මාස්ටර්වරයාගේ' කාර්යාලයට ගොස් අදාළ රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රය පරික්ෂා කළ බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා, එම යන්ත්‍රයේ අන්තර්ගත දත්ත කියවා බැලීම සඳහා එම යන්ත්‍රයට අදාළ තොරතුරු තාක්ෂණ සේවා සපයන දේශීය සමාගමේ සහය ලබාගැනීමට අවශ්‍ය වී තිබෙන බව දන්වා සිටියේය.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයාගේ අවධානය යොමු කරමින්, අදාළ රේඩියෝ පණිවුඩ පටිගත කිරිමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන් කොට ඇතැයි පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේ අදාළ යන්ත්‍රයේ තිබෙන දත්ත කියවා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව කියවා බලා අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා එම යන්ත්‍රයට තොරතුරු තාක්ෂණ සේවා සපයන දේශීය සමාගමේ සහය ලබාගැනීමට අවශ්‍ය වී තිබෙන බවත්ය.

එම අවස්ථාවේදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ 'හාබර් මාස්ටර්වරයාගේ' කාර්යාලයේ තිබෙන මෙම රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුළ ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා විසින් ලබාදුන් සියළුම දුරකථන පණිවිඩ අන්තර්ගතව තිබෙන බවය.

X-PRESS PEARL නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 81ක් තිබිණි

මෙම යන්ත්‍රයේ අන්තර්ගත පණිවිඩ පිළිබඳව පරික්ෂා කරන ලෙස තමන් ආරම්භයේ පටන්ම ඉල්ලීම් කළත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු නොකළ බව කී ජනාධිපති නීතිඥ ජයමාන්න දැන් එම යන්ත්‍රයේ තිබෙන දත්ත මැකී ඇතැයි ප්‍රකාශ කිරීම විමතියට කරුණක් බව පැවසීය.

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සත්‍ය අනාවරණය වීම වසන් කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි" චෝදනා කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න රජයේ නිලධාරීන් අපක්ෂපාතිව රාජකාරිය කළ යුතු බවත් ඔවුන් තනිවන අවස්ථාවක කිසිවකු ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් පැවසීය.

මෙවැනි පක්ෂග්‍රාහී පරීක්ෂණයකින් සැකකරුවන්ට යුක්තිය ඉටු වන්නේ කෙසේ දැයි මෙහිදී ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම සිද්ධියට අදාළව 'හාබර් මාස්ටර්වරයා' සැකකරුවකු වශයෙන් මහාධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ නෞකාව තුළ ගිනි ගැනීමක් තිබෙන බව දනිමින් එයට දේශීය ජල තීරයට ඇතුළු වීමට ඉඩ දී ගින්න වැඩි වීමට ඉඩ හැර ඉන් වන්දියක් ලබාගැනීමට රජයේ නිලධාරීන් උත්සාහ කළ බවට විත්ති පාර්ශව ඉකුත්දා චෝදනාව කර තිබූ බව පැවසීය.

නෞකාවේ ගමන්මග

දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව එවැන්නක් අනාවරණය නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා, නෞකාවේ කපිතාන්වරයා මෙන්ම දේශීය නියෝජිත සමාගම ආරම්භයේ පටන්ම නෞකාව තුළ තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුව හා ගින්න පිළිබඳව දිගින් දිගටම තොරතුරු වසන් කිරීම නිසා මෙම තත්වය උද්ගත වූ බව විමර්ශනවලින් තහවුරු වී ඇතැයි පැවසීය.

මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය ශ්‍රී ලාංකික රජයේ නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවු බවට තහවුරු කෙරෙන කිසිදු කරුණක් මෙම විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

තමා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන්නේ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු පමණක් බවත් තමන් මාධ්‍ය සංදර්ශණ පැවැත්වීමට කටයුතු නොකරන බවත් මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ තවදුරත් පැවසීය.

මෙම නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව එහි දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ නිලධාරීන් තුන්දෙනෙකු විසින් ඔවුන්ගේ ඊ මේල් පණිවිඩ මකා දමා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අදාල සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, යම් නිලධාරියෙකු ඊ මේල් පණිවිඩ මකා දමා තිබුණේ නම් එම ඊමේල් පණිවිඩ වලට අදාළ පිටපත් එම සමාගමේ වෙනත් නිලධාරීන්ගේ ගිණුම් වල තිබෙන බවත් ඒවා කිසිදු ගැටලුවකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාගැනීමට හැකියාව පවතින බවත් පැවසීය.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන 13 වෙනිදා කැදවීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කලාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර :