මහ මැතිවරණය ජුනි 20 වෙනි දින පවත්වන්න බෑ - මැතිවරණ කොමිසම

වර්තමානයේ උදාවී තිබෙන තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මැතිවරණ දිනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් බදාදා (මැයි 20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම දැනුම්දීම කරනු ලැබුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසිනි.
නාමයෝජනා භාර ගැනීම ආරම්භ කිරීමෙන් පසුව කෝවිඩ් වසංගත තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසමට සිදු වූ බව ඔහු සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා පැවසුවේ, මාර්තු මස 17, 18 සහ 19 යන දිනවල නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් උද්ගතව තිබුණද එහි කිසිදු නීතිමය පදනමක් නොමැති බවය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිවේදනයකට අනුව මාර්තු මස 17, 18 සහ 19 යන දිනයන් විශේෂ නිවාඩු දින වශයෙන් පමණක් සඳහන් කර තිබූ බව කියා සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, එම දිනවල දිසා ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන විවෘතව තිබූ බව ද සඳහන් කළේය.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ වලින් මෙතෙක් කොළ එළියක් දල්වා නොමැති බවත්, මැතිවරණයක් පැවැත්වීමේදී ඒ හා සම්බන්ධ නිලධාරීන්ට සාමාන්‍යයෙන් දිනකට පැය 16 ක් හෝ 18 ක් අඛණ්ඩව රාජකාරි කිරීමට සිදුවන බවත් පැවසීය.
එහෙත් වර්තමානයේ පවතින ඇඳිරි නීති තත්ත්වය හා සමාජ දුරස්ථභාවය යනාදී කරුණු හේතුවෙන් එම නිලධාරීන්ට රාජකාරි කිරීමට හැකියාව ලැබෙන්නේ උපරිම වශයෙන් දිනකට පැය 12 ක් පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, අතීත මැතිවරණවලදී විශ්‍රාම ගිය මැතිවරණ නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමක් සිදු කළත් වර්තමානයේ පවතින වසංගත තත්ත්වය නිසා එම නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවය.
මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍යවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස එතැන් පටන් සති දහයකින් පමණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේය.
පෙත්සම ඉල්ලා අස්කර ගැනේ
ජුනි මස 20 වනදා මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් දැනුම් දුන් අවස්ථාවේ නැගී සිටි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය දැනටමත් හිමිවී තිබෙන බැවින් ඔහු සිය පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව දැන්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එම කරුණ පිළිගත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්නේය.
මහාචාර්ය හූල්
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්ථික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මැතිවරණ කොමිසම විසින් මාර්තු මස 17 ,18 සහ 19 යන දින වල නාම යෝජනා පත්‍ර භාර ගනු ලැබීම නීති විරෝධී බවය.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව නාම යෝජනා පත්‍ර භාර ගත හැක්කේ සාමාන්‍ය රාජකාරි කාර්යාල වේලාවන්වල පමණක් බව පෙන්වා දුන් නීතිඥ දේවේන්ද්‍ර, රජයේ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කර තිබූ මාර්තු මස 17 ,18 සහ 19 යන දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පැවසීය.
මෙම අවස්ථාවේ දී නීතිඥ හස්ථික දේවේන්ද්‍ර ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඔහු ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ මතය ද? එසේත් නැතිනම් ඔහුගේ සේවාදායකයාගේ මතය ද? යන්න විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර දන්වා සිටියේ තමන් විසින් ඉදිරිපත් කරනු ලබන්නේ තම සේවාදායකයාගේ මතය බවය.
එම ප්‍රකාශයට විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා, මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණයක් එම කොමිසමේ සාමාජිකයෙකු විසින් මෙයාකාරයෙන් විවේචනය කරමින් කරුණු දැක්වීම අනුමත කළ නොහැකි බව සඳහන් කළාය.
ඊට පිළිතුරු දුන් නීතිඥ හස්ථික දේවේන්ද්‍ර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස තම සේවාදායකයා නම්කර තිබෙන බැවින් ඔහුගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව පැවසීය.
පොදුජන පෙරමුණ
ඉන් අනතුරුව මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අධිකරණය හමුවේ කියා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන තර්කය පදනම් විරහිත බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ නව වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හල දා සිට මැතිවරණය පවත්වා අවසන් ප්‍රතිඵලය නිකුත් කරන දින දක්වා කාලසීමාව මැතිවරණ කාල සීමාව වශයෙන් සලකන බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පැවසීය.
අධිකරණය හමුවට පැමිණ සිටින පෙත්සම්කරුවන් ගෙන් බහුතරය ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, ඔවුන් එසේ නාම යෝජනා පත්‍ර භාර දෙනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවට පිළිගෙන තිබෙන හෙයින් යැයි සඳහන් කළේය.
ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණය හමුවට පැමිණ තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බව පැවසූ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ, මෙම පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති ලේකම්
ඉන් අනතුරුව පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන්නේ යහපත් චේතනාවකින් නොවන බවය.
මෙම පෙත්සම් තුළින් අධිකරණ ක්‍රියාදාමය අවභාවිතයට ලක් කිරීමක් සිදුවන බව පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම පෙත්සම් වල පවතින පදනම් විරහිතභාවය පිළිබඳව තමා බ්‍රහස්පතින්දා කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම බ්‍රහස්පතින්දා තෙක් කල් තැබිණ.
මැතිවරණ දිනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් සහ ගොනුකර තිබෙන පෙත්සම් සම්බන්ධ මූලික විභාගය සඳුදා ආරම්භ වූ අතර, ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන්, නීතිඥ විරාන් කොරෙයා, ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහමඩ් සහ නීතිඥ සුරේන් ප්‍රනාන්දු පෙත්සම්කරුවන් වෙනුවෙන් සඳුදා සහ අඟහරුවාදා කරුණු දැක්වූහ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඔවුන් දැක්වූ අදහස්වල සාරාංශයක් නීතිඥ එන් කේ අශෝකබරන් විසින් ට්විටර් ජාලය ඔස්සේ පළ කරනු ලැබ තිබිණ.
කියවන්න:








