2020 මහ මැතිවරණය පවත්වන දිනය තීන්දු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2020 පාර්ලිමේන්තු මැතිවරණය ජූනි 20 වන දින පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවයට පැවසීය.
ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.
කොරෝනාවෛරසය හේතුවෙන් මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් රට තුළ නොමැති බවට දේශපාලන පක්ෂ හා සංවිධාන කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
එම පසුබිම මත මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අප්‍රේල් 20 වන සඳුදා පාර්ශව ගණනාවක් සමග කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අට වැනි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මාර්තු 02 වන දා නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනයට අනුව, අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු අතර මැයි මස 14 වන දා අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පැවැත්වීමට දින නියම කර තිබිණි.
එහෙත් රට තුළ ව්‍යාප්ත වූ COVID - 19 රෝග තත්ත්වය නිසා කලින් සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය.
ව්‍යවස්ථා අර්බුදයට විසඳුම් සෙවීම
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජූනි මස 02 වන දාට ප්‍රථම නව පාර්ලිමේන්තුව රැස් විය යුතුය.
එබැවින් උද්ගත විය හැකි ව්‍යවස්ථාමය ගැටලුව විසඳා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්තු 31 වන දා සහ අප්‍රේල් 01 වන දා ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කරන ලදී.
ඊට පිළිතුරු ලිපියක් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් අප්‍රේල් 06 වන දා මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළේය.
එමගින් දැනුම් දී තිබුණේ අප්‍රේල් 25 වන දා ඡන්ද විමසීම කළ නොහැකි නම් වෙනත් දිනයක් සඳහන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටින අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ ප්‍රශ්නයක් පැන නොනගින බවය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අප්‍රේල් 18 වන දින මේ පිළිබඳව අදහස් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.
මැතිවරණ කොමිසමට දෙහි කැපීම
පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය පිළිබඳව විමසා මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවීම, එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් එච්. හූල් බීබීසී සිංහල සේවය ඇතුළු මාධ්‍ය වෙත නිකුත් කළ අදහස් සහ ජනතාවට සහන සැලසීමේදී දේශපාලනඥයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන මැතිවරණ කොමිෂන් සභාව කළ කරුණු දැක්වීම් පදනම් කර ගනිමින් විමල් විරවංශ අමාත්‍යවරයා අප්‍රේල් 06 වන දින දෙරණ රුපවාහිනීයේ පැවති වැඩසටහනකදී විවේචනාත්මක අදහස් දැක්වීමක් ද කළේය.
''ජනාධිපතිතුමා යමක් ඇහුවොත් මොන කොරෝනා තිබුණත් නියමිත කාලයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව දෙන්න ඕනා. එතකොට වාද විවාද කරලා ඒ ගොල්ලෝ හිතනවා ගන්න තීන්දුව ඒ අයට වාසිදායකයි කියලා. මේක තමයි සැලැස්ම. කොමිසමේ සභාපතිතුමා, අපි බබ්බු නෙමෙයි. කොමිසමත් ඔය අහිංසක විදියට කරන්නේ දේශපාලනයක්. මිනිස්සු අපෙන් පිහිට ඉල්ලන්නේ. මේ වසංගතයේදී මනුස්සකමට බැරියර් දාන්න එපා. ඔය හූල් කියන මහත්තයා බීබීසී එකට කියනවා පාර්ලිමේතුවවත් නැතිව ශ්‍රී ලංකාව ඒකාධිපතිත්වයක් කරා ගමන් කරනවා කියලා. මේ ස්වාධීන කොමිසමේ සාමාජිකයෙක්,'' යනුවෙන් විමල් විරවංශ එහිදී කියා සිටියේය.
එම ප්‍රකාශයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අප්‍රේල් 08 වන දා සිය ෆේස්බුක් ගිණුමේ කරුණු දක්වා තිබූ අතර එහි මෙලෙස ද සටහන් කර තිබිණි.
''මේ ව්‍යවස්ථාපිත මැතිවරණ කාල සීමාවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය බව, ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය බව මාත් හිතනවා . ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් එකෙන් උත්තර දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ.''
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මේ අතර රටේ පවතින තත්ත්වය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නොවන බවට දේශපාලන පක්ෂ සහ ආගමික නායකයන් විසින් ද අදහස් පළ කරනු ලැබ තිබිණි.
සඳුදා නව රෝගීන් විසි හතරක්
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳුදා (අප්‍රේල් 20) නිකුත් කළ නිවේදනයට අනුව, සඳුදා පෙරවරු 9.30 වන විට කොරෝනාවෛරසය ආසාදිත බවට තහවුරු කළ නව රෝගීන් 24 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙනි.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති COVID-19 වැළඳුණු මුළු රෝගීන් ගණන 295කි.
සුවපත් වූ රෝගීන් සංඛ්‍යාව 97කි. රෝගීන් හත් දෙනෙකු මියගොස් තිබේ.
කොළඹින් 77ක්, කළුතරින් 45ක්, පුත්තලමෙන් 35ක්, ගම්පහින් 32ක් සහ යාපනයෙන් 16ක් ලෙස රෝගීන් වාර්තා වී ඇත.
ඇඳිරි නීතියේ කාලය සංශෝධනය කෙරේ
එක් එක් දිස්ත්‍රික්කවල කලින් නිවේදනය කරන ලද ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් මේ වන විට සංශෝධනය කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර ඇත.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි. අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අලුයම 5.00 දක්වා බලාත්මකව පවතී.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාට සම්පූර්ණයෙන් තහනම් කර ඇත. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදිය සම්බන්ධයෙන් කළින් ප්‍රකාශයට පත් කළ කොන්දේසි හා උපදෙස් නොවෙනස්ව පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.








