කොරෝනා වෛරසය: 2020 පාර්ලිමේන්තු මැතිවරණයට අභියෝග 07ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ජූනි 20 වන දින පැවැත්වීමට අදාළ කටයුතු මේ දිනවල සිදු කෙරේ.
එහෙත් COVID-19 රෝගය නිසා ශ්‍රී ලංකා ඉතිහාසයේ මැතිවරණයක් පැවැත්වීමේදී මෙතෙක් කිසි දා මුහුණ නොදුන් නව අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ.
සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇති ආකාරයට සමාජ දූරස්ථභාවය පවත්වාගෙන යමින් මැතිවරණයට අදාළ කටයුතු සිදු කිරීම මෙන් ම ඡන්ද දායකයන්ගේ සහ මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ පිරිස්වල සෞඛ්‍ය ආරක්ෂාව ගැන ක්‍රියා කිරීමේදී මතු වන ප්‍රයෝගික ගැටලු විසඳා ගැනීම ප්‍රබල අභියෝගයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණයට අදාළ රාජකාරිවල නිරත මැතිවරණ කොමිෂන් සභාව, තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණාලය සහ වෙනත් රාජ්‍ය සේවකයන් මෙන් ම ඡන්ද දායකයන් මුහුණ දෙන අභියෝග හතක් කෙරෙහි මෙම ලිපියෙන් අවධානය යොමු කෙරේ.
01. ඡන්ද මධ්‍යස්ථානයක ඉඩ සීමිත වීම
2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයෙන් (අම්පාර) තරග කරන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 54 කි.
"අම්පාර දිස්ත්‍රිකයේ පක්ෂ හා කණ්ඩායම් පනස් හතරක් ඉල්ලනවා. ඡන්ද මධ්‍යස්ථානයකට දෙන්නා ගාණේ අවොත් පක්ෂ නියෝජිතයෝ විතරක් එකසිය අටක්. අපේ නිලධාරිනුත් ඉන්නවා 15ක් 20ක් විතර. අපි ඡන්ද මධ්‍යස්ථාන විදියට යොදා ගන්නේ පාසල්, රජයේ ආයතන, පන්සලේ බණ මඩුව, ප්‍රජා ශාලා වගේ තැන්. ඉතිං සමාජ දූරස්ථභාවය තියාගෙන කොහොම ද මේ තරම් විශාල පිරිසක් එක්ක කටයුතු කරන්නේ. මේක බරපතළ අභියෝගයක්," යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රසම්පාදන හා පර්යේෂණ අධ්‍යක්ෂ චන්න ද සිල්වා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල මෙම ගැටලුව වඩාත් උග්‍ර වන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ගණන 44කි.
02. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විශාල පිරිසක් රැස්වීම
එක් ප්‍රධාන ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානක් තුළ ගණන් කිරීමේ ශාලා රැසක් තිබේ. ඉන් එක් ශාලාවක් තුළ (පංති කාමරයක් වැනි ස්ථානයක) ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්, ගණන් කිරීමේ නිලධාරීන් සහ පක්ෂ නියෝජිතයන් වැනි විශාල පිරිසක් ඉතා සමීපව කටයුතු කරති. සියලු දෙනාගේ ඇස් යොමුව තිබෙන්නේ එක ම ඉලක්කයක් වෙතය. එවන් ස්ථානයක සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම ප්‍රයෝගිකව ඉතා අසීරු බව ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීහු පවසති.
මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය සේවකයන්ගේ මෙන් ම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා ක්‍රියා කිරීමට ද සිදුවේ.
ඡන්ද විමසීම සිදුකරන දිනයට පෙර ඊට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමේදී ද සමාජ දූරස්ථභාවය පවත්වාගෙන උපදෙස් රැස්වීම් පැවැත්වීම ද ගැටලුවක් වනු ඇත.
''මේ අභියෝග අඩුකර ගන්නේ කොහොම ද කියල තමයි අපි සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරන්නේ. ඒක තමයි රටේ තත්ත්වය යහපත් වෙනකන් දීර්ඝ දිනයක් දීලා තියෙන්නේ. විශේෂයෙන් තැපෑල වැඩ කරන්නේ නැතුව කොහොම ද ලියුම්, ඡන්ද පත්‍රිකා බෙදන්නේ,'' යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රසම්පාදන හා පර්යේෂණ අධ්‍යක්ෂ චන්න ද සිල්වා පැවසුවේය.


03. රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව
ඡන්ද පොළට පැමිණෙන ඡන්ද දායකයන්ගේ ඇඟිලිවල වර්ණ සටහන් කිරීම සහ අනන්‍යතාව පරික්ෂා කිරීම ද පවතින තත්ත්වය මත අනාරක්ෂිත බව ඡන්ද රාජකාරිවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති පවසයි.
ශ්‍රී ලංකාවට වෙනත් රටවල සිට ගුවන් මගීන් පැමිණීම මේ දිනවල තාවකාලිකව අත්හිටුවා ඇත. එහෙත් මැතිවරණය පැවැත්වෙන දිනය වන විට එම තත්ත්වය වෙනස් වී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා විදේශීය නිරීක්ෂණයන් ශ්‍රී ලංකාවට පැමිණීම සිදු වුවහොත් සෞඛ්‍ය අවදානමක් මතු විය හැකි බව සඳහන් කරමින් ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 21ක් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියේ මෙසේ සඳහන් වේ.
''ශ්‍රී ලංකාවේ COVID-19 අවදානම පහව ගොස් ඇති බවක් මේ වන තෙක් සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර නොමැත. නිරෝධායනය වූ කිහිප දෙනෙකුට ද කොරෝනා ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. චීනයේ මෙන් ම දකුණු කොරියාවේ ද කොරෝනා ආසාධනය වී සුව වූ බවට තහවුරු කළ රෝගීන් පවා යළිත් වරක් රෝගයට ගොදුරු වී ඇති වාතාවරණයක ගෝලීය වශයෙන් පවතින මෙම වසංගත තත්ත්වය තවමත් පහව ගොස් නැත. මෙවැනි වාතාවරණයක මැතිවරණයක් පැවැත්වීමේදී මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මැතිවරණ කොමිසමේ වගකීමකි. මැතිවරණ කොමිසම විසින් මැතිවරණය කල් දැමීමට හේතු වූ තත්ත්වයන් තවමත් ඉවත් වී නොමැත. ''
මැතිවරණ ක්‍රියාවලියට රාජ්‍ය නිලධාරීන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් දායක වන අතර ඉන් ලක්ෂයකට අධික පිරිසක් ගුරුවරුන් බව ලංකා ගුරු සංගමය පවසයි.
04. නිවාස ලක්ෂ 62කට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම
මැතිවරණයකදී තැපැල් දෙපාර්තමේන්තුවට පැවරෙන රාජකාරී කටයුතු අතරින් COVID-19 තත්ත්වය හමුවේ ඇති අසීරු ම කාර්යය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම බව තැපැල්පතිවරයා පවසයි.

''දළ වශයෙන් ගෙවල් ලක්ෂ 62කට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හරින්න තියෙනවා. ඒ හැම ගෙයක් ගාණෙ ම යන්න ඕනා. මේවා අත්සන් ලබා ගෙන භාර දෙන්න ඕනා. මේ ගෙවල්වලට අපේ කණ්ඩායම් යවන එකත් මට ප්‍රශ්නයක්. වෘත්තීය සමිති කියන්නෙත් මේ තියෙන තත්ත්වය තුළ ඒක කරන්න අපහසුයි කියලා. ඉදිරියේදී සෞඛ්‍ය අංශ අපිට නිශ්චිතව කිවුවොත් මේ වෛරසය පැතිරීමේ ඉඩකඩක් නෑ කියලා, ඒ අය තහවුරු කරනවා නම් ගැටලුවක් නෑ. මම හිතන්නේ නෑ ඒ තහවුරුව ලබා දෙන්න මේ වන විට සෞඛ්‍ය අංශයට පුළුවන්කමක් ඇති කියලා,'' යනුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
05. සෑම නිවසකට ම ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදා හැරීම
පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සෑම නිවසකට ම, සෑම ඡන්ද දායකයෙකුට ම ලබා දීමට දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට අයිතියක් ඇත. එම ක්‍රියාව ද ඉතා අපහසු බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.
''මම උදාහරණයක් විදියට කියන්නම්, අම්පාර දිස්ත්‍රික්කය ගත්තොත් තරග කරන පක්ෂ හා කණ්ඩායම් 54ක් තියෙනවා. ඉන් 20ක් අපිට අවම වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන බෙදන්න භාර දුන්නා කියල හිතන්න. ඒ විස්ස එම දිස්ත්‍රික්කයේ ඉන්න පවුල් සංඛ්‍යාවෙන් වැඩි කළ යුතු වෙනවා. එතකොට මේක ඉතා ම අපහසු කාරණාවක්,'' යනුවෙන් තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.
මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට විකල්ප හා තාක්ෂණික ක්‍රමවේදයන් ගැන තැපැල් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර ඉදිරියේදී සකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රමුඛ සේවා යටතේ බොහෝ විට රාජ්‍ය ආයතන අතර හුවමාරු වන ලිපි බෙදීම, තැපැල් ඡන්දයට අදාළ කටයුතු කළමනාකරණය කර ගැනීමට COVID-19 තත්ත්වය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවේ.
06. දූරස්ථභාවය පවත්වාගෙන මුද්‍රණ කටයුතු සිදු කිරීම
මැතිවරණ කාල සීමාව තුළ රජයේ මුද්‍රණාලය වෙත සුවිශේෂී කාර්යභාරයක් පැවරෙයි. ඒ ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද පත්‍රිකා සහ ඡන්ද දැන්වීම් පත්‍රිකා අනෙකුත් ලිපි ලේඛන ලක්ෂ සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Gangani Liyanage
ඒ සඳහා අවශ්‍ය කොළ හා තීන්ත වර්ග රජයේ මුද්‍රණාලය කල්තබා සූදානම් කර ගෙන තිබුණ ද දූරස්ථභාවය පවත්වාගෙන මුද්‍රණ කටයුතු සිදු කිරීමේ අභියෝගයට මුහුණ දෙන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
''වෙන දා අපි එක සෙක්ෂන් එකක තමයි මේ ඔක්කොම කරන්නේ. දැන් අපිට තියෙන එක ම අභියෝගය තමයි දූරස්ථභාවය පවත්වාගෙන මේ වැඩ කරන එක. එතකොට තව සෙක්ෂන් ටිකක් තෝරාගෙන මේ වැඩ කරගෙන යන්න වෙනවා. CCTV කැමරා ටික සවි කරලා ඒ වැඩ ටික පටන්ගන්නවා,'' යනුවෙන් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරත් පැවසුවාය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා මුද්‍රණ කටයුතු සඳහා කොළ අවශ්‍යතාව දෙගුණයකින් වැඩිවී ඇත.
අඟල් 14ක් දිග ඡන්ද පත්‍රිකා මෙවර මුද්‍රණය කෙරෙන්නේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා පමණි. සෙසු මැතිවරණ දිස්ත්‍රික්ක 20 සඳහා මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා අඟල් 27ට වඩා දිගු වන බව දැනට ඇස්තමේන්තු කර ඇත.
07. ඡන්ද දායකයා ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීම
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය අප්‍රේල් 22 පෙරවරු 10.00ට නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති, තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 310කි. කොරෝනා රෝගීන් බවට සැක සහිත තවත් 148 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. සුවපත් වූ රෝගීන් සංඛ්‍යාව 104කි. මරණ හතක් වාර්තා වී ඇත.
එමෙන් ම ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ම ඉවත් කර නැත.
මෙවන් පසුබිමක ජනතාව ඡන්ද පොළ වෙත පැමිණීම අවිනිශ්චිත බව සඳහන් කරමින් මාධ්‍ය වාර්තා පළ වේ.
බාධාවකින් තොරව පැවැත්වෙන මැතිවරණයකදී ඡන්ද දායකයන් තුනෙන් දෙකකට වඩා ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් එය යහපත් තත්ත්වයක් ලෙස මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති. එබැවින් ජූනි 20 වන දා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඡන්ද දායකයන්ට COVID-19 ගැන බියක් හා සැකයක් නොමැති පරිසරයක් රට තුළ නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ ලබා දෙන සහතිකය ඉතා වැදගත් බව පෙනෙන්නට තිබේ.
කියවන්න:








