කොරෝනා වෛරසය: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, 'ව්‍යවස්ථා අර්බුදය' සහ විරුද්ධ පක්ෂවල ඉල්ලීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සරෝජ් පතිරණ
- Role, BBC සිංහල
ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ හඳුන්වා දෙන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුවේ වාරාවසාන වීම හෝ වෙනත් හේතුවකින් ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබීමෙන් මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය.
ඒ අනුව පසුගිය මාර්තු 02 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව වෙනුවට තෝරා ගන්නා ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුව ජුනි 02 වෙනි දිනට ප්‍රථම රැස්විය යුතුය.
එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම සිදුවිය යුතු නීත්‍යානුකූල කටයුත්තකි.
කෙසේ වුවත් රට තුළ පැතිරෙමින් තිබෙන කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් ජුනි 02 වෙනි දිනට ප්‍රථම මහ මැතිවරණය පැවැත්විය නොහැකි බව අප්‍රේල් 20 වෙනි දින තීරණය කළ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ජුනි 20 වෙනි දින පැවැත්වීමට දින නියම කළේය.
ඒ සමඟම ශ්‍රී ලංකාවේ යළිත් වරක් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය නොවැම්බර් 19 වන දින අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපස දී ගෝඨාභය රාජපක්ෂ නව ජනපතිවරයා ලෙසින් දිවුරුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින බවට ප්‍රතිඥා දෙමිනි. ජනාධිපතිවරයා විසින් මාර්තු 02 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ද ව්‍යවස්ථාවට අනුකූලවය.
ඒ අනුව මතු වී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉදිරියේ ව්‍යවස්ථානුකූල විකල්ප කිහිපයක් පවතී:
- විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීම (එසේ කළහොත් නාම යෝජනා ද අහෝසි වේ)
- මතුව ඇති තත්ත්වය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම
- හදිසි තත්ත්වයක් ප්‍රකාශකොට විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව කැඳවීම. හදිසි තත්ත්වය අවසන් වූ විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය බලාත්මක වේ.
විරුද්ධ පක්ෂවල ඉල්ලීම


මේ අතර අප්‍රේල් 27 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඒකාබද්ධ ලිපියක් යවන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක නායකයෝ, කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු දෙවෙනිදා දුන් නියෝගය ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කරති.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට නොහැකි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට පියවර ගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ, ආර් සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම්ගේ අත්සනින් ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ දැක්වේ.
කොරෝනා වෛරසය හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, පාර්ලිමේන්තුව යළි කැඳවූ විට තමන්ට වේතන අනවශ්‍ය බවත්, එමෙන්ම විරුද්ධ පක්ෂවලට බහුතර බලය තිබුණ ද ආණ්ඩුවේ වැඩපිළිවෙල පරාජය කිරීමට කටයුතු නොකරන බවත් පක්ෂ නායකයෝ වැඩිදුරටත් පවසති.
එම ලිපියට ජනතා විමුක්ති පෙරමුණ අත්සන් තබා නැත.
විරුද්ධ පක්ෂ යොමු කළ ලිපිය සම්බන්ධයෙන් විමසීමක් කළ අවස්ථාවේ ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක කියා සිටියේ ජනාධිපතිවරයා වෙත එම ලිපිය ලැබී තිබෙන නමුත් මෙතෙක් ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නොමැති බවය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය
පසුගිය අප්‍රේල් 20 වෙනි දින මැතිවරණ කොමිසම මහ මැතිවරණය සඳහා දින නියම කිරීමට ප්‍රථම ජාතික රූපවාහිනිය ඔස්සේ අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ කිසිදු ලෙසකින් පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමන් කටයුතු නොකරන බවය.
ජුනි 20 වෙනි දින මැතිවරණය පැවැත්වීමට නියම කිරීමත් සමඟ මතුව ඇති තත්ත්වය ගැන අදහස් විමසීම පිණිස බීබීසී සිංහල සේවය ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නොමැති බවය.
කෙසේ වුවත් මැතිවරණයට දින නියම කිරීම මැතිවරණ කොමිසමට අයත් කාර්යභාරයක් බව ජනාධිපතිවරයා කිහිප විටක්ම පෙන්වා දී තිබෙන බව ද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය විමසා දැනුම් දීමට උත්සහ කරන බවය.
'විසුරුවා හැරීම ඉබේම අහෝසියි'
මේ අතර අනිද්දා පුවත්පත සමඟ අදහස් දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විශාරදයෙකු වන ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පවසන්නේ, ව්‍යවස්ථාව ප්‍රකාර ජුනි 02 වෙනි දිනට ප්‍රථම පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ද අහෝසි වන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එබැවින් ජනාධිපතිවරයා ගේ කැඳවීමක් නොමැතිව පවා වත්මන් පාර්ලිමේන්තුවට රැස්විය හැකි බව ඔහුගේ ස්ථාවරය වී තිබේ.
"දැන් අපට මේ කාරණය පැහැදිලියි. ජුනි 02 වැනිදාට කලින් ඡන්දය පවත්වන්න බැහැ. දැන් පවතින තත්වය අනුව මගේ ස්ථාවරය තමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාර්තු 02 වැනිදා පළකළ ගැසට් පත්‍රය වලංගු නොවන බව," යනුවෙන් ද ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පවසයි.
ඔහු එය හඳුන්වන්නේ 2018 ඔක්තෝබර් මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධී ලෙසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අවස්ථාවේ මතු වූ ව්‍යවස්ථා අර්බුදය හා සමාන තත්ත්වයක් ලෙසිනි.
ව්‍යවස්ථා විශාරදයෙකු වන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ද පවසා තිබුණේ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ නම්‍යශීලී වී විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවය.
'Deadlock එකක්'
කෙසේ වුවත් NewsFirst නාලිකාව සමඟ අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ උදය ආර් ද සිල්වා අවධාරණය කළේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවිය යුතු ද, නැද්ද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් පවතින බවය.
ඔහු පවසන්නේ, ජුනි 20 වෙනි දින මහ මැතිවරණය පැවැත්වෙන බැවින් ජනාධිපතිවරයා මේ අවස්ථාවේ කිසිදු පියවරක් ගැනීම අවශ්‍ය නොවන බවය.
මේ අතර බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් නීතිවේදිනී කෞශල්‍යා ආරියරත්න කියා සිටියේ, මතු වී තිබෙන තත්ත්වය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින්නේ ඉතා අපැහැදිලි තත්ත්වයක් බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"ඒ නිසා මෙතෙන්දි අවශ්‍ය වෙන්නේ රටේ නීතිය උල්ලංඝනය කරන්නේ නැතුව මේ තත්ත්වයට පිළියමක් හොයන එක. අනෙක් අතට මේ වගේ වාතාවරණයක් ගැන ව්‍යවස්ථාවේ නෑ කියල රටේ නීතිය උල්ලංඝනය වෙන්න ඉඩ දෙන්නත් බෑ."
පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ තිබෙන්නේ නීත්‍යානුකූල ලෙසින් බැවින් එය නැවත කැඳවන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකි ද යන්න මෙන්ම පාර්ලිමේන්තුවට යළි රැස්විය හැකි ද යන්නත් පැහැදිලි නැතත්, "එහෙම අවකාශයක් තිබෙන" බව පෙන්වා දෙන නීතිවේදිනී කෞශල්‍යා ආරියරත්න, කෙසේවුවත් ජුනි 20 වෙනි දිනට මැතිවරණය නියම කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට හැකියාව තිබෙන බවද සඳහන් කළාය.
"ඒත් එහෙම කළොත් ඉල්ලන්න වෙන්නේ නිසි කලට මැතිවරණ පවත්වන්න කියල. පැහැදිලිවම දැන් මෙතන තියෙන්නේ deadlock එකක්."
'ව්‍යවස්ථා විරෝධී තීරණයක්'
මතු වී ඇති තත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කලණ සේනාරත්න කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) ව්‍යවස්ථාව ප්‍රකාර විසුරුවා හැරීමෙන් මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි රැස්විය යුතු බැවින්, මහ මැතිවරණය ජුනි 20 වෙනි දිනට කල් දමීමට මැතිවරණ කොමිසම ගත් තීරණය ව්‍යවස්ථාව සමඟ ගැටෙන්නක් (conflict with the Constitution) බවය.
කෙසේ වුවත් මැතිවරණ කොමිසමේ එම තීන්දු හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු වන බවට මතුකෙරෙන තර්කය ද පිළිගත නොහැකි බව ආචාර්ය කලණ සේනාරත්නගේ අදහසය. එම තර්කය පිළිගන්නේ නම්, ජනාධිපති නියෝගයක් අවලංගු කිරීමට මැතිවරණ කොමිසමට බලය තිබෙන්නේය යන්න එමගින් ඉඟි කෙරෙන බව පෙන්වාදෙන ඔහු පවසන්නේ එබැවින් මැතිවරණ කොමිසමේ තීන්දුව ව්‍යවස්ථා විරෝධී බවට තර්ක කිරීම වඩා යහපත් බවය.
එබැවින් ඔහු පවසන පරිදි මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විසඳාගත යුතු ප්‍රශ්නයකි.
"කෙසේ වුවත්, මැතිවරණ කොමිසමට එවැනි ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් ගැනීමට හේතු වූ එක් කරුණක් වූයේ ව්‍යවස්ථාවේ 70 (7) ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව යළි කැඳවීමට ජනාධිපතිවරයාගේ ඇති නොකැමැත්ත බවද පෙන්වා දිය යුතුය," යනුවෙන් ද ආචාර්ය කලණ සේනාරත්න පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
'ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු'
ජුනි 02 දිනට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අහෝසි වන බැවින් පාර්ලිමේන්තුව කැඳවීමට හිටපු කතානායක කරු ජයසූරිය පියවර ගත යුතු බවට ද අදහස් පළවෙමින් පවතී.
ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු කතානායක කරු ජයසූරිය බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මතුව තිබෙන තත්ත්වය ගැන කිසිවෙකුට හෝ ගැටලුවක් පවතින්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකි බවය.
"මට අවශ්‍ය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනව දකින්න," හිටපු කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු නොකරන අතර, අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු බව ද ට්විටර් ඔස්සේ තවදුරටත් අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය සඳහන් කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මතු වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් Daily FT පුවත්පතට දීර්ඝ ලිපියක් සපයමින් ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලයේ නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටින නීතිඥ ගෙහාන් ගුණතිලක, මේ අවස්ථාවේ දේශපාලන වාසි නොතකා රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙසින් ක්‍රියාකරමින් ඉතිහාසයට එක්වන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබුණි.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට කෝවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වසා දමා ඇති අතර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ රෝගය පැතිරයාම හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ද වසා දමනු ලැබ තිබේ.
ඒ ගැන අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මිතුරෝ සංවිධානයේ අමල් අබේවර්ධන පවසා තිබුණේ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනාවෛරසය ආසාදිත වුවද අගමැති කාර්යාලය වසා නොදැමූ බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
අධිකරණ සංකීර්ණය වසා දමා තිබුණ ද අන්තර්ජාලය ඔස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් ඇතුළු නීතිවේදීන් පෙන්වා දී තිබුණි.
මතු වී තිබෙන අර්බුදය විසඳා ගැනීම පිණිස අධිකරණයේ පිහිට පතන්නේ ද යන්න ගැන මෙතෙක් කිසිදු පාර්ශවයක් අදහසක් පළ කොට නැත.










