ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීම "ව්‍යවස්ථාවට පටහැනියි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය නොවැම්බර් 09 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ සඳහන් කරයි.
ඒකමතික තීන්දුව අනුමත කරමින් විනිසුරු සිසිර ද ආබෲ වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවක් පළමුවරට රැස්වී වසර හතර හමාරක් ගත වනතුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසන සිසිර ද ආබෲ විනිසුරුවරයා, වසර හතර හමාරකට පෙර විසුරුවා හැරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කිරීමෙන් පසුව පමණක් එය සිදු කළ හැකි බව ද සිය තීන්දුවේ සඳහන් කරයි.
අගවිනිසුරු නලීන් පෙරේරා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව වසර හතරහමාරක් ගතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවද අගවිනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වන අවස්ථාවේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්ව සිටි අතර, ආරක්ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද අධිකරණ භූමියේ යොදවා තිබුණි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම සම්බන්ධ පෙත්සම් විභාගය අගවිනිසුරු නලීන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 4 වනදා සිට 7 වනදා දක්වා පැවැත්විණි.
බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පිහිටි විශාලම නඩු ශාලාව වන අධිකරණ ශාලා 502 දී ප්‍රකාශ කළ තීන්දුව දැක බලා ගැනීම පිණිස නීති විශාරදයින්, දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය දෙසැම්බර් 07 වනදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, තීන්දුව ප්‍රකාශ කිරීම පසුවට කල් තැබුවේය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
- ඔක්තෝබර් 26 වනදා සිට දිගහැරුණු දේශපාලන අර්බුදය දින වකවානු සහිතව දැනගැනීම සඳහා කියවන්න: "සතියකින් අවසන්" බව කියූ අර්බුදයේ මෙතෙක් ගමන් මග
- පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් තිබෙන්නේ ද යන්න ගැන නීති විශාරදයන්ගේ මතය: ජනපති මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරුවිය හැකිද?
ව්‍යවස්ථා අර්බුදයේ පසුබිම
පසුගිය ඔක්තෝබර් 26 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරමින්, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය.
මේ ගැනත් කියවන්න:
තවදුරටත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.
එම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 13 වන දින අතුරු නියෝගයක් ප්‍රකාශයට පත්කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දෙසැම්බර් 07 වන දින දක්වා අත්හිටුවන ලද අතර, පසුව එම අතුරු නියෝගය දෙසැම්බර් 10 වන දින දක්වා දීර්ඝ කරනු ලැබ තිබිණ.
19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය
2015 අප්‍රේල් මාසයේ සම්මත කරගන්නා ලද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා දෙකක සඳහන් වේ.
ඒ 70 සහ 33 ව්‍යවස්ථාවලය. (එම ව්‍යවස්ථාවල අන්තර්ගතය පහත දැක්වේ.)




ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබාගැනීම පිණිස ඉල්ලීමක් කිරීමට අවසර තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට පමණය.
එහෙත් ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ක්‍රියාවකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව හිමිවේ.
නීති තර්ක
පෙත්සම් විභාගය පැවැති අවස්ථාවේ පෙත්සම්කාර දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.
පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව ඔවුහු පැවසූහ.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවී තිබෙන බව ද එම නිතිඥවරු පෙන්වා දුන්හ.
එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව සඳහන් කළ එම නීතිඥවරු, මෙම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියහ.
ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ සී වැලිඅමුණ කරුණු දක්වමින්, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නේය.
මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුනද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බවත් ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ පැවසීය.
ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවය.
නීතිපති ජයන්ත ජයසූරිය ඉකුත්දා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බවය.
ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බවත් නීතිපතිවරයා පෙන්වා දුන්නේය.
එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා, එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් අධිකරණය හමුවේ පැවසීය.
එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපතිවරයා විසින් මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාර බවද සඳහන් කළේය.
එබැවින් සියලු පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නඩු විභාගය පැවැති ඉකුත්දා අතරමැදි පෙත්සම්කරුවන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කරුණු ඉදිරිපත් කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62( 2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි.
1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
අතරමැදි පෙත්සම්කරුවකු උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපති වරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභා කළ යුතු බවය.
පෙත්සම්වලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.
අග්‍රමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බවත් මනෝහරද සිල්වා ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් ්වැල්ලවත්ත යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(c)) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බව පෙන්වා දුන්නේය.
මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි, එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත් කියා සිටියේය.
අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33( 2)c වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33(2)c සහ 62(2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති බවත් එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ මාරපන වැඩිදුරටත් පැවසීය.











