ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ජනාධිපතිට එරෙහි පෙත්සම් විභාගයට "ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නෑ" - නීතිපති

ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය නොවැම්බර් 09 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

නීතිපති ජයන්ත ජයසූරිය ඒ බව සඳහන් කළේ, අදාළ පෙත්සම බදාදා (දෙසැම්බර් 05) දෙවෙනි දිනටත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.

අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රධානියා ලෙස කටයුතු කරන එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා, පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින්, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට චෝදනා එල්ල කර ඇති බව කියා සිටියේය.

තවදුරටත් කියවන්න:

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (2) (අ ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

එම වගන්තියට අනුව ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී යෝජනාවක් සම්මත කර, එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

එවිට ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතු වන්නේ, චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කිරීම බව පෙන්වා දුන් නීතිපතිවරයා, එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

පෙත්සම් වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

පළමු දින විභාගය

පෙත්සම්වලට අදාල විභාගය ආරම්භ වූයේ දෙසැම්බර් 4 වෙනි අඟහරුවාදාය.

ඒ අනුව පළමු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.

  • පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු
  • පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක - එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

එහෙත්, මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම, මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන ඊ කණගීස්වරන් සහ තිලක් මාරපන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා, එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවය කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේසී වැලිඅමුණ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුන ද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තවත් පුවත්:

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවය.

තවත් පාර්ශ්ව මැදිහත් වීමට අවසර ඉල්ලයි

මේ අතර, මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර, ජෝන් සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනෙකු ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.