ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "ව්‍යවස්ථාව අනුව වැඩකරන්න" - රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීට කියයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීතිවිරෝධී බැවින් එය අහෝසිකරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අඟහරුවාදා (දෙසැම්බර් 04) අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ආරම්භ විය.
මින් පෙර මෙම නඩුව විභාග කළ අගවිනිසුරුවරයා ද ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වෙනි සිකුරාදා දක්වා අත්හිටුවමින් වාරණයක් ලබාදුන්නේය.
අද 4 සිට 6 වෙනිදා දක්වා මෙම නඩුව විනිසුරුවරුන් 7 දෙනෙකු ඉදිරියේ විභාගයට ගන්නා අතර, 6 වෙනිදා මෙම නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විනිසුරු මඬුල්ල තීන්දුවක් ලබාදීමට නියමිතය.
මේ අතර මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 49 දෙනෙකු අගමැති හෝ අමාත්‍ය පදවි දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලබන බව ඔහුගේ නීතිවේදීහු පවසති.
"හෙට දින පළමු පැයේදී" අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුත් නිවේදනයක් සඳුදා සවස නිකුත් කළ නමුත්, අඟහරුවාදා දහවල් වනතුරුත් එවැන්නක් ඉදිරිපත් කර නොතිබුණි.
ජනපති - ලේකම්වරු හමුවේ
මෙම අභියාචනය භාරදීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය විභාග කිරීම සඳහා දිනයක් තීරණය කරනු ඇති අතර අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමක් සිදුවන්නේ මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කර එයට අතුරු තහනම් නියෝගයක් ලබාදීමට විනිසුරුවරුන් තීරණය කළහොත් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, PMD News
මේ අතර රටේ ජනාධිපතිවරයා පමණක් ක්‍රියාත්මකවන තත්වය හමුවේ රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා සහ අමාත්‍යංශ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
ජනාධිපතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරු අතර පැවති සාකච්ච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය, "අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරන ලද අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සිය රාජකාරි කටයුතු ඉටු කිරීම තාවකාලිකව වලක්වාලමින් ගරු අභියාචනාධිකරණය විසින් 2018.12.03 දින අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින්, පවත්නා නීතියට අනුකූලව මහජන සේවාවන් කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා නියෝග සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇත," යනුවෙන් කියා සිටියේය.
ජනපති -එජාපෙ සාකච්ඡා අසාර්ථකයි
ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර සඳුදා රාත්‍රියේ පැවති සාකච්ඡාව මුළුමනින්ම අසාර්ථක වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහට නැවත අගමැති ධුරය ලබාදීම ජනාධිපතිවරයා එහිදී ප්‍රතික්ෂේප කර තිබෙන අතර ඒ වෙනුවට එක්සත් ජාතික පෙරමුණට වෙනත් නමක් යෝජනා කරන ලෙස ඔහු නැවත වරක් ඉල්ලා තිබේ. එයට එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ විරෝධය පළවීමෙන් අනතුරුව කිසිදු එකඟතාවකින් තොරව සාකච්ඡාව අවසන් වී තිබේ.

ජනාධිපතිවරයා අඟහරුවාදා සවස කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී වත්මන් දේශපාලන අර්බුදය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තාවේ.
මේ අතර බදාදා (දෙසැම්බර් 05) රැස්වෙන පාර්ලිමේන්තු සැසියේදී මින් පෙර සම්මතවූ විශ්වාසභංග යෝජනා සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තවත් යෝජනාවක් සම්මත කරගැනීමට නියමිත අතර, කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, සිය මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයේදිද පාර්ලිමේන්තුව වර්ජනය කරන බවය.
මෙම අර්බුදයට විසඳුම වහාම මහ මැතිවරණයක් පැවැත්වීම බව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේය.
අඟහරුවාදා දහවල් අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නීතිවිරෝධී ආණ්ඩුවක් හමුවේ මැතිවරණයක් පැවැත්විය නොහැකි බව කියා සිටියේය. නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව මහමැතිවරණයකට යාමට සිය පක්ෂය සූදානම් බව ද එක්සත් ජාතික පක්ෂ නායකයා පැවසීය.
ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් තමන් ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේය.
"අපේ ව්‍යවස්ථාවේ අගමැතිවරයෙක් පත්කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය අනුව."
"මේක තමයි මට අවශ්‍ය දේ කියල තීරණය කරන්න ජනාධිපතිතුමාට බැහැ. මේක පාර්ලිමේන්තු ආණ්ඩුවක්. අගමැතිවරයා තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය, ඇමතිවරු තීරණය කරන්නේ අගමැතිවරයා, පාර්ලිමේන්තුව ඒ සියලු දෙනා පාලනය කරනවා," යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
"මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ ඇමති කියලා කාඩ් බෝඩ් උස්සගෙන ගිය අයත්, සියළු දෙනාම දැන් ව්‍යවස්ථාව අනුව වැඩකරන්න. මොකද අපි හැම එක්කෙනාම ව්‍යවස්ථාව ආරකෂා කරන්න දිවුරුම් දීලා තියෙන්නේ, ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නැහැ."
තවත් කියවන්න:








