"යුද්ධයක් එපා": ජනාධිපතිවරණයෙන් පසු යාපනය වැසියන්ගේ බලාපොරොත්තු

"යුද්ධය නිසා අපි ගොඩක් බැට කෑවා. අපට ආයෙ යුද්ධ ඕන නැහැ. අපිට ඕනෑ මේ රට සංවර්ධනය වෙනවා දකින්න. ඒ වගේ ම අපේ අලුත් ජනාධිපතිතුමා අපිව බලාගනියි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අපිට ඕනෑ පිළිගැනීමත්, නිදහසත්, සංවර්ධනයත් විතරයි," හැටතුන් හැවිරිදි නඩරාජා සිවමලන් පවසන්නීය.
ඇය ඕමන්තේ පදිංචිකාරියකි.
යුද්ධය නිසා සියලු දේ අහිමි වූ සිවමලන් මේ වන විට හිසට හරි හැටි සෙවණක් නොමැතිව ගත කරන්නේ තනිකඩ ජීවිතයකි. දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා තුන ම නිවැරදිව හැසිරවීමේ හැකියාව ඇති සිවමලන්ගේ ජීවන වෘත්තිය මිනිසුන් ගැවසෙන තැන්වලට ගොස් මනිබඩු අලෙවි කිරීමය.
වඩයක් හා කහට තේ කෝප්පයක රස විඳිමින් ඇය දිගු කතාවකට මුල පිරුවාය.
"මගේ ජීවිතේ සහ පවුල විනාශ වුණේ යුද්ධය නිසයි. අම්මා, අප්පා දෙන්න ම යුද්ධය නිසා මට අහිමි වුණා. ඒ කාලෙ මට විශ්වවිද්‍යාල වරම් හිමි වුණත් යන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. මට හොඳ ගෙයක් දොරක් තිබුණා. ඉඩකඩම් තිබුණා. නමුත් යුද්ධයෙන් ඒ සේර ම නැති වුණා."
කියවන්න:
සිවමලන් නොනවත්වා සිය කතාව හෙළි කළාය.
"මම කසාද නොබැන්දෙත් ඒ නිසයි. මගේ ගේ දැන් පොළවට සමතලා වෙලා. ඒත් මම කාටවත් වෛර කරන්නේ නැහැ. මට ඉන්න හිටින්න තැනක් නැති වුණාට මම උත්සහ කරන්නේ රටට, ගමට වැඩක් කරන්න. මම මට පුළුවන් විදිහට සමාජ සේවය කරනවා."

"ආයුබෝවන්" කියා අප පිළිගත් සිවමලන් යුද්ධය හේතුවෙන් ඇයට අහිමි වූ සියල්ල ගැන තවදුරටත් විස්තර කළාය.
"යුද්ධය ඉවර වුණ එක හොඳයි. නමුත් අපි බලාපොරොත්තු වුණ දියුණුව වුණේ නැහැ. අනෙක් කාරණය තමයි දකුණේ වගේ ම උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය නැති කරන්න වැඩපිළිවෙළක් පසුගිය ආණ්ඩුවලට තිබුණෙ නැහැ. මේ යුද්ධ මානසිකත්වය නිසා තමයි උතුරත් දකුණත් මේ විදියට බෙදුණේ."
සිවමලන් දිවි ගෙවන්නේ තහඩු කීපයක් සහ සාරි කීපයක් වටේට දැමූ මඩුවක් වැනි ස්ථානයකය.
එය ඉදි කර දී ඇත්තේ ද හමුදාවෙනි. මෙවැනි තාවකාලික නිවෙස් විශාල ප්‍රමාණයක් උතුරු ප්‍රදේශයේ දක්නට ලැබේ.
"වැස්සට තෙමෙනවා. අව්වට කර වෙනවා. වැස්ස දවසට නම් අනිවාර්යෙන් බඩගින්නේ තමයි. නමුත් මම කාටවත් අත පාන්නේ නැතුව ජීවත් වෙනවා. ඒ ගැන මම සතුටු වෙනවා."
කියවන්න:
මෙම පැල්පතට නුදුරින් තිබූ විශාල ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් පෙන්වූ සිවමලන්, "මේ තමා මගේ ගේ" යැයි පැවසීය.
"මේ වගේ ගෙවල් ඕනෑ තරම් ඕමන්තේදී දැකගන්න පුළුවන්. මේ පාර දිගේ පොඩි දුරක් ගියා ම බලන්න පුළුවන්," යැයි ඇය සිය පැරණි නිවසේ නටබුන් දෙස බලාගෙන කඳුළු සලමින් පැවසුවාය.

සිවමලන්ගේ නිවස පසු කර මීටර් 300ක් පමණ ගිය තැන ඇයගේ පැල්පතට වඩා මඳක් ආවරණය වූ තවත් පැල්පතක් දක්නට ලැබිණි.
මෙම නිවසේ දරු තිදෙනෙකු සමග වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු සිටි අතර, පුරුෂයා කුලී රැකියා සොයා නික්ම ගොස් සිටියේය.
තිස් හත් හැවිරිදි ලින්ගේශ්වරන් ඉන්ද්‍රානි මෙම නිවසේ මව වූ අතර, දිවි ගෙවීම සඳහා ස්ථිර අදායම් මාර්ගයක් නොමැති බව ඇය පැවසීය.
"අද වෙන කොට කුලී වැඩක් හොයා ගන්නත් සෑහෙන දුකක් විඳින්න ඕනෑ. මේ නිසා දෙන කුලිය අඩු වෙලා. මුළු දවසටම ලැබෙන්නේ රුපියල් හාරසීයක් වගේ මුදලක්."
"ඒ මුදලින් හය දෙනෙකුට ජීවත්වෙන්න අමාරුයි. මේ ඉන්න ඉඩමට ඔප්පු නැහැ. වැහි දවසට මේ පාරේ යන්න බැහැ. බොන්න වතුර ටිකක් ගන්න හැතැක්ම ගාණක් යන්න ඕනෑ."
"මේ පළාතේ ජනතාව ලොකු දුකක් විඳිනවා. නමුත් කියන්න කෙනෙක් නැහැ. අඩුම ගානේ මේ පාර ඡන්දේ ඉල්ලලා හරි කවුරුත් ආවේ නැහැ. ඒ කියන්නේ අපිව අත හැරලා තියෙන්නේ," ඉන්ද්‍රානි පැවසුවාය.

ඉන්ද්‍රානිගේ පැල්පතද තහඩු, ඉටි කොළ, සාරි වැනි දේවලින් මෙන්ම කාඩ් බෝඩ්වලින් ද ආවරණය කර තිබිණි.
මෙම ගමේ දී හමු වූ තිස් දෙහැවිරිදි සුබ්‍රමනියම් සෙන්දිල් දරු දෙදෙනෙකුගේ පියෙකි. බිරිඳ හා දරුවන් සමඟ ඉතා කුඩා නිවසක ජීවත්වන ඔහුට ඇති ප්‍රධානතම ගැටලුව ස්ථිර අදායම් මාර්ගයක් නොමැති වීමය.
"අපිට ගොඩාක් බලාපොරොත්තු නැහැ. එදා වේල හොයා ගන්න එක තමයි අපේ ප්‍රධාන ප්‍රශ්නේ. යුද්ධය නිසා අපිට හැම දේම නැති වුණා."
"අපි ඉපදුණේ යුද්ධයේ සාපයට අහුවෙලා. යුද්දේ ඉවර වෙයි කියලා අපි හිතුවෙම නැහැ. අපි හැමදාම හිතුවේ බංකරේ තමයි අපිට උරුම කියලා. නමුත් යුද්ධය ඉවර වුණා. ඒකට අපිට සතුටුයි."
"නමුත් අපිට ඒකෙ ප්‍රතිලාභ මොනවත් ලැබිලා නැහැ. අපට තියෙන තවත් ගැටලුවක් තමයි වතුර නැති එක. වතුර තිබුණා නම් අපිට මොනවා හරි කරන්න පුළුවන්. අපේ දේශපාලකයන්ගෙන් වෙච්ච දෙයක් නැහැ. අපේ ගැටලු සිංහල මාධ්‍යයක හරි ගිහින් දකුණේ දේශපාලකයෝ අපේ දුක දැක්කොත් අපිට යමක් කරයි," සුබ්‍රමනියම් පැවසුවේය.
දකුණේ සිට උතුරට පැමිණි රාජ්‍ය සේවකයෙකු වන ඕමන්තේ සමෘද්ධි බැංකුවේ කළමනාකරු උපාලි චන්ද්‍රසිරි, දකුණ සහ උතුර අතර සංවර්ධනයේ වෙනස දකින්නේ "අහසට පොළොව" මෙනි.

"අද බලන්න දකුණේ ගෙදරකට යන පොඩි පාරත් කොන්ක්‍රීට් කරනවා, කාපට් කරනවා මෙහෙ 'ඒ නවය' ඇරෙන්න වෙන කිසිම පාරක් හැදිලා නැහැ," උපාලි චන්ද්‍රසිරි පැවසීය.
"මේ නිසා ප්‍රවාහන ගැටලු තියෙනවා. මිනිස්සු තවමත් කිලෝමීටර් හය හත පයින් යන අවස්ථා තියෙනවා. බොන්න වතුර ටිකක් ගන්න කිලෝමීටර් ගණනක් යන්න වෙලා තියනවා. ඒ වගේම තමයි යුද්ධයෙන් පස්සේ පදිංචියට ආව මෙහෙ ජනතාවට ඉන්න හරි හැටි වාසස්ථානයක් නැහැ."
"ඒ කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් මේ ජනතාවට ලැබිලා නැහැ. මට කියන්න තියෙන්නේ ඉතා ඉක්මනින් මේ තත්වය වෙනස් කළ යුතුයි. දකුණේ දේශපාලකයන් මෙන්ම නිලධාරීන් උතුරට ඇවිල්ලා මේ ගැන හොයා බැලිය යුතුයි."
"අවුරුදු ගණනක් යුද්ධයෙන් බැට කාපු මේ ජනතාවට දැන්වත් සහනයක් දිය යුතුයි. මේ අය තවත් බය වෙලා තියනවා ජනාධිපතිවරණයෙන් පස්සේ ඇති වුණ තත්වය නිසා. සමාජ මාධ්‍යවල ප්‍රචාර නිසා," ඔහු විස්තර කළේය.
මේ තොරතුරුද කියවන්න:
"කොටින්ම මේ අය පසුගිය දින දෙකේ අපේ මූණ දිහා කෙලින් බැලුවේ නැහැ. ජනතාව වික්ෂිප්ත වෙලා ඉන්නේ. ඒ නිසා දකුණේ කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ දකුණට පෙර උතුර සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි."
උතුර හා දකුණේ දුරස්ථ බව දුරු කළ හැකි ප්‍රායෝගික යෝජනාවක්ද ඔහු සතුව තිබිණි.

"මම යෝජනා කරන්නේ, හොඳට වැඩ කරන්න පුළුවන් දකුණේ රාජ්‍ය නිලධාරීන් මේ පළාතේ සේවය සඳහා යොදවන්න ඕන. මට ඒ ගැන හොඳ අත්දැකීම් තියනවා. මම අකමැත්තෙන් මෙහෙට ආවේ. මොකද ඒ වෙන කොට මට දෙමළ අකුරක්වත් බැහැ."
"මම මුලින් බය වුණා මේ අයත් එකක් වැඩ කරන්න. නමුත් මම වැඩ කළ මේ ටික කාලේදී අවබෝධ කර ගත්තා මේ ජනතාවට වැඩ කරන්න පහසු බව. ඉතා අහිංසක ජනතාවක් කියන එක. මේ නිසා මට පුළුවන් උපරිමයෙන් මේ අයට සේවය කරනවා. ඒ නිසා දකුණේ ජනතාව ගැන ආදරයක්, භක්තියක්, ගෞරවයක් දැන් දැන් මේ පළාතේ ජනතාවට ඇතිව තිබෙනවා."
"සමහර විට උතුරේ දේශපාලකයන් මේ යෝජනාවට අකමැති වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා විශ්වාස කරනවා නව ජනාධිපතිතුමාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඒ වගේම උතුරේ නිලධාරීන් දකුණේ සේවය සඳහා ද යොදවන්න පුළුවන්," යැයි ඔහු තවදුරටත් පැවසුවේය.
සමුගැනීමට සැරසෙද්දී සිවමලන් තම අලෙවි භාණ්ඩ අතරින් යමක් අතට ගත්තාය.
"මේක මගෙන් තෑග්ගක්."
ඒ 'ස්ටිකර්' දෙකකි. "මෙම නිවසට බුදු සරණයි" යන්න එක් සිට්කරයක් සඳහන් වූ අතර අනෙක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ය.








