ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "දුක් විඳි ජනතාවට ප්‍රතිඵල ලබා දෙනවා" - අගමැති රනිල් වික්‍රමසිංහ කියයි

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් ආපස්සට ගිය රට යළි සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කරන බව දිවුරුම් දීමේ අවස්ථාවෙන් අනතුරුව අරලිය ගහ මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
ඔහු ප්‍රකාශ කළේ, "රටේ යළිත් සාමාන්‍ය තත්ත්වයක් ඇති කරල රටේ සංවර්ධනයක් ඇති කරන්න අවශ්‍ය" බවය.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමේ අරමුණින් මීට වසර තුනකට පෙර ක්‍රියා කළ රටේ ජනතාව ද ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දුක් විඳි බව රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.
"දුක් විඳි ජනතාවට ප්‍රතිඵල ලබා දෙන්න කටයුතු කරමින් සිටි අවස්ථාවකයි මේ අර්බුදය නිර්මාණය වුණේ. දැන් එම ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න පියවර ගන්න අවශ්‍යයි."
ඔහු සඳහන් කළේ, "මීට වඩා හොඳ ජීවන තත්ත්වයක්, ආර්ථික මෙන් ම සාමාජික වශයෙන් ඔබට ලබා දෙනවා" යනුවෙනි.
සිය රජය රටේ ජනතාවගේ දියුණුව සම්බන්ධයෙන් කැපවී සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාව අමතමින් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව සහ අධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කතාවේදී පාර්ලිමේන්තුව සහ අධිකරණය ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
"මේ රටේ පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ අධිකරණය ස්වාධීනව නීතිය අනුව කටයුතු කිරීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්. කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව මුහුණ දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම තුළින් මේ රටේ ජනතා නිදහස තවදුරටත් තහවුරු කළා," යනුවෙන් ද ඔහු කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
තවත් අදහස්
මේ අතර, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද අදහස් පළ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ, සිය රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වූ බවය.
"ස්වාධීනත්වය ශපථ කරමින් අධිකරණය හොඳින් කටයුතු කළා. පොලිස් කොමිසම හොඳින් කටයුතු කළා. අප ගත් ක්‍රියාමාර්ග නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා. අපේ රජය කළ හොඳ ම දෙය එයයි," පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ සඳහන් කළේ, පසුගිය දා රට තුළ නිර්මාණය වූ දේශපාලන අර්බුදය හේතුවෙන් "රට අවුරුදු දෙකකින් ආපස්සට ගොස් ඇති" බවය.
විපක්ෂ නායක කවුද?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉරිදා දහවල් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි විය.
ඔහු එහිදී ප්‍රකාශ කළේ, සිය රජය ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී කටයුතු කරන බවය.
එහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට හිමි වේවිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ සියලු තනතුරු ව්‍යවස්ථාවට අනුව හිමි විය යුතු බවය.
"අගමැතිකම, විපක්ෂ නායකකම කාටවත් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අනුවයි ක්‍රියා කළ යුත්තේ. කැබිනට් මණ්ඩලය පත් කළාට පස්සෙයි ඒක තීරණය කෙරෙන්නේ. මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තු විපක්ෂයේ වැඩි ම පිරිසක් ඉන්නව නම් ව්‍යවස්ථානුකූලව ඒක ලැබෙයි," ඔහු පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය ඉතා ඉක්මනින්ම පත් කෙරෙනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද කැබිනට් මණ්ඩලයට පත් කෙරෙනු ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කෙසේ වුවත් තවදුරටත් "ජාතික ආණ්ඩුවක්" ක්‍රියාත්මක නොවන බැවින් කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30 කට සීමා කිරීමට නව ආණ්ඩුවට සිදු වේ.
කැබිනට් අමාත්‍යවරුන් පිරිස වැඩිකරගැනීමේ අරමුණින්, මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන තනි මන්ත්‍රීවරයා යොදාගනිමින් "ජාතික ආණ්ඩුවක්" පිහිටුවීට එජාපය උත්සාහ කළහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මීට ඉහතදී අනතුරු අඟවා තිබිණි.
තව කියවන්න.








