ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රනිල් වික්‍රමසිංහගේ "මන්ත්‍රී ධුරය අහෝසි කරන්න"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම ඉදිරිපත් කොට තිබෙන්නේ යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල විසිනි.
ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත්‍රාත්වලට එළැඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී ධුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇති බව පෙත්සම්කාරිය සඳහන් කරයි.
වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු බව තමන්ට දැනගැනීමට ලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කරනු ලබන්නේ එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (Lake House Printers and Publishers) පුද්ගලික සමාගම මගින් බව ද පවසයි.
එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ කොන්ත්‍රාත්වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම මගින් රනිල් වික්‍රමසිංහට මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක් උද්ගතව ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කරයි.
රාජිත සේනාරත්නට එරෙහි තීන්දුව කුමක්ද?
මේ අන්දමින් රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය ද මීට ඉහතදී අධිකරණය විසින් අහෝසි කර තිබෙන බව ඇය පෙන්වා දී තිබේ.

එවක එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වූ රාජිත සේනාරත්න, රජයට දන්ත වෛද්‍ය උපකරණ සපයමින් රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් පොදු පෙරමුණේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා 1999 සැප්තැම්බර් මාසයේ අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කළේය.
එහිදී විජයදාස රාජපක්ෂ සහ එස් විමලසේකර නීතිඥවරුන් පෙත්සම්කාර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ කේ.එන් චොක්සි සහ දයා පැල්පොල යන නීතිඥවරු විත්තිකාර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් කරුණු දැක්වූහ.
1999 දෙසැම්බර් 10 වන දා එම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ල, රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කරමින් ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේය.
ඒ සමගම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත මන්දාමුස් ආඥාවක් නිකුත්කළ අධිකරණය, රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා මෙන් නියෝග කළේය.
අදාළ නඩු විභාගයේ සම්පූර්ණ තීන්දුව මෙහි දැක්වේ.

රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනා
ඉහත කී පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු සිව් දෙනෙකු නම් කරනු ලැබ ඇත.











