දේශපාලන අර්බුදය: මහින්ද සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අගමැති ධුරයට පත් කරන ලද මහින්ද රාජපක්ෂගේ සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ගේ පත්වීම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ජනවාරි මස 16 ,17 සහ 18 යන දිනවල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම බදාදා (දෙසැ 12) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය කර ලැබීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ නඩුවට අදාළ නොතීසි සහ ලිපිගොනු ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව පෙත්සම්කාර පාර්ශවය තමන් වෙත නිසි පරිදි භාරදී නොමැති බවය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කිරීමක් බැවින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන මෙන් ද වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කළහ.

එම අවස්ථාවේදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, එවැනි නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් කළ නොහැකි බවත් මෙම විරෝධතාව සුදුසු අවස්ථාවේදී මතු කරන ලෙසත්ය.

මෙහිදී වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේ, එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින 49 දෙනාගෙන් නොතීසි හා ලේඛන භාර දී ඇත්තේ, 17 දෙනෙකුට පමණක් බවත් ඉතිරි වගඋත්තරකරුවන් තිස් දෙදෙනාට ලේඛන ලැබී නොමැති බවත්ය.

ඒ අනුව මෙම නඩුවේ සියලු ම වගඋත්තරකරුවන්ට නොතීසි නැවත නිකුත් කරන ලෙස අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.

අනතුරුව නඩුවට අදාළ විරෝධතා ජනවාරි මස 4 වන දා ඉදිරිපත් කරන මෙන් වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 11 වන දා ඉදිරිපත් කරන ලෙස ද පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

අනතුරුව පෙත්සම් විභාගය ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල පවත්වන බව ද අධිකරණය නියෝග කළේය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පෙත්සම්කාර පාර්ශවය පැවසුවේ, මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා ද තහවුරු කර ඇති බවත්ය.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ පැවසූහ.

එම කරුණු සැලකිල්ලට ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

PMD News

ඡායාරූප මූලාශ්‍රය, PMD News

එහෙත්, පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ඉකුත්දා අධිකරණය හමුවේ කියා සිටියේ, පෙත්සම්කරුවන් විසින් සම්මත කරනු ලැබූ බව කියන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බවය.

මුලින් ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන, ස්ථාවර නියෝග 47(1) යටතේ කතානායකවරයා එම යෝජනාව අතිබහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කළේ යයි ද පැවසීය.

අදාළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව කී ජනාධිපති නීතිඥ මාරපන, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමේ නීත්‍යනුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන් ද ඉල්ලා තිබිණි.

එමෙන් ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ද ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.