හම්බන්තොට දූෂණය කෙරුණු දැරිය අවසන් ගමනේ

හම්බන්තොට දාහතර හැවිරිදි පාසල් දැරිය සමූහ දුෂණයට ලක් කළ පුද්ගලයන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස තිස්සමහාරාම කොන් වැළෑන ගම්වාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
දූෂණයට ලක්වීමෙන් පසු ගෙල වැලලාගෙන ඇති දැරිය හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කරනු ලැබීමෙන් අනතුරුව මිය ගිය අතර බදාදා (ජනවාරි 17) ඇයගේ අවසන් කටයුතු සිදු කෙරිණි.
ඒ සඳහා ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර දැරියගේ දේහය පිටුපස යමින් ඔවුහු නිහඬ විරෝධතාවක නිරත වූහ.
දැරිය සමග ප්‍රේම සබඳතාවක් පැවැත් වූ බව පැවසෙන තිස්සමහාරාම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග පැමිණ පසුගිය 09 වෙනිදා රාත්‍රියේ දැරියගේ නිවස අසල මත්පැන් පානය කර ඇති බව වාර්තා වේ.
අනතුරුව ඔවුන් තිදෙනා දැරියගේ නිවස අසලට ගොස් ඇති අතර ඇය නිවසින් පිටතට ගෙන්වාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර නැවත නිවස වෙත ගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වි ඇත.
දැඩි කම්පනයට සහ සිත් තැවුලට පත් දැරිය පසුගිය 10 වෙනි දින නිවස අසල ඇති කොහොඹ ගසක එල්ලි සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.
එය ඇයගේ සහෝදරයා දැක ඇති අතර අනතුරුව ඇය හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි.
අවසන් ලිපිය


දැරියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු පසුගිය 15 වෙනි දින හම්බන්තොට මහා රෝහලේදී සිදු කරනු ලැබූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ගෙල සිරවීම ඇයගේ මරණයට හේතු වී ඇති බවය.
ඇය අතවරයට ලක්ව ඇති බවත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ.
සිය දිවි හානි කර ගැනීමට ප්‍රථම දැරිය විසින් ලියන ලද ලිපියක් ද හමු වී ඇති අතර එහි අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා සම්බන්ධයෙන් කරුණු සඳහන් කර ඇති බව පොලීසිය පවසයි.
අදාළ තරුණයන් තිදෙනා යාල රක්ෂිත ප්‍රදේශයේ සැඟව සිටිය දී ප්‍රදේශවාසීන් විසින් පසුගිය 11 වෙනිදා අළුයම අල්ලාගෙන පහර දී පොලීසියට භාර දෙනු ලැබිණි.
දැරියගේ පෙම්වතා බව පැවසෙන සැකකරු 23 වෙනි වියේ පසුවන අතර සෙසු සැකකරුවෝ 18 සහ 20 වෙනි වියේ පසු වෙති.
සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අන්නතුරුව ජනවාරි 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
සමාන පුවත්:










