සෞදියේ සිටින ලෙබනන් අගමැති "දින කිහිපයක් ඇතුළත" මව්රටට

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් බාර දීම සඳහා තමන් "දින කිහිපයක් ඇතුළත" සිය රට බලා පැමිණෙන බව පවසයි.
සෞදි අරාබියේ රියාද් අගනුවර දී ෆියුචර් ටීවී රූපවාහිනී සේවය වෙත අගමැතිවරයා අදහස් පළ කර තිබිණි.
තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු පසුගිය සතියේ ප්‍රකාශ කළ අතර ඉන් පසු ඔහු ප්‍රසිද්ධියේ අදහස් පළ කළ පළමු අවස්ථාව මෙයයි.
අගමැතිවරයා බලහත්කාරයෙන් රඳවා තබා ගනු ඇතැයි ඔහුට හිතවත් කැබිනට් ඇමතිවරුන් පවසන අතර අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරයි.
ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා ව්‍යාපාරය වෙතින් තමන් සහ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත වෙත තර්ජන පවතින බව පවසන අගමැතිවරයා ඒ හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කියා සිටී.
මේ අතර සිය බල අරගලයන් සඳහා ලෙබනනය යොදා නොගන්නා මෙන් ඇමරිකාව සහ එක්සත් රාජධානිය සෙසු රටවලට අනතුරු අඟවා තිබේ.
සුන්නි මුස්ලිම් ප්‍රජා නායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සාද් හරිරි විසින් ආණ්ඩුවක් පිහිටුවනු ලැබුවේ 2016 වසරේදීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම ඉල්ලා අස්වුණා. මම ඉක්මනින්ම ලෙබනනයට යනවා. ව්‍යවස්ථාවට අනුව මම ඉල්ලා අස්වීම බාර දෙනවා" යනුවෙන් ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව අතරතුර පැවසීය.
ලෙබනනයේ නීතිය අනුව අගමැතිවරයා සිය ඉල්ලලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දිය යුතු අතර ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වීමට නම් එය ජනාධිපතිවරයා විසින් බාර ගත යුතුව ඇත.
අසල්වැසි රටවල සිදු කරනු ලබන මැදිහත්වීම් නැවත්වීමට හිස්බුල්ලා ව්‍යාපාරය කටයුතු කරන්නේ නම් ඉල්ලා අස්වීම පිළිබඳ යළි සිතා බැලීමේ අපේක්ෂාවක ද සාද් හරිරි සිටී.
"පක්ෂයක් වශයෙන් මම හිස්බුල්ලා ව්‍යාපාරයට විරුද්ධ නැහැ. රට විනාශ කිරීම සම්බන්ධයෙන් මට හිස්බුල්ලා ව්‍යාපාරය සමග ප්‍රශ්නයක් තිබෙනවා"
ඔහු පවසන පරිදි කලාපයේ ප්‍රධාන ගැටලුව " අරාබි රාජ්‍යයන් සඳහා ඉරානය විසින් සිදු කරනු ලබන මැදිහත්වීම්ය."
සිය ඉල්ලා අස්වීම මගින් තම රට වැසියන්ට "යහපත් ආකාරයේ කම්පනයක්" ලබා දීමට අවශ්‍ය වූ බව කී අගමැතිවරයා "මගේ ඉල්ලා අස්වීම ලෙබනනයට පූර්ව සිහි කැඳවීමක්" යනුවෙන් සඳහන් කළේය.
අගමැති සාද් හරිරි ප්‍රාණ ඇපයට ගෙන ඇති බවට ඉරානය සහ හිස්බුල්ලා ව්‍යාපාරය සෞදි අරාබියට චෝදනා කරයි.
නමුත් තමන්ට අවශ්‍ය තැනක නිදහසේ සංචාරය කිරීමට හැකි බව සාද් හරිරි අවධාරණය කරයි.
"මම මෙහෙ නිදහසේ ඉන්නේ. යම් තැනක හෙට සංචාරය කරන්න අවශ්‍ය නම් මට කළ හැකියි"










