රෝහින්ග්‍යා ප්‍රහාරය : අරඹේපොල හිමි 'තවමත් නිදැල්ලේ'

ගල්කිස්සේ නිවාසයක රඳවා සිටි රෝහින්ග්‍යා අනාථයන්ට එරෙහිව පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින ප්‍රචන්ඩකාරී ලෙස හැසිරුණු බවට චෝදනා ලබන අරඹේපොල රතනසාර හිමියන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව අධිකරණය හමුවේ අනාවරණය කෙරුණි.
මේ අතර එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හත්දෙනෙකු සඳුදා (ඔක්තෝබර් 09) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් සාක්ෂිකරුවන් 13 දෙනෙකු අතරින් සිවු දෙනෙකුට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බව පොලිසිය දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් පිරිස ලබන 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කරන මෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
රෝහින්ග්‍යා විරෝධී උද්ඝෝෂණයට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වී සිටින සිහල රාවය සංවිධානයේ නායක අක්මීමන දයාරතන හිමියන්ට ඇප ලබා දෙන මෙන් එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී මේජර් අජිත් ප්‍රසන්න ඉල්ලීමක් කළ නමුත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා එයට විරෝධය පළ කළේය.
සිදුවීම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව සඳහන් කළ පොලිස් පරීක්ෂකවරයා, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී දිලීප පීරිස්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකි බැවින් ඇප ඉල්ලීම වෙනත් දිනයක ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA NAVY
ඒ අනුව අක්මීමන දයාරත්න හිමියන්ට ඇප ලබාදීමේ ඉල්ලීම යළිත් වරක් අඟහරුවාදා (ඔක්තෝබර් 10) ඉදිරිපත් කරන මෙන් අධිකරණය නියෝග කළේය. එතෙක් දයාරත්න හිමියන් යළිත් වරක් බන්ධනාගාරගත් කෙරිණි.
අදාළ උද්ඝෝෂණය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පසුගිය ඔක්තෝබර් 02 වෙනි දින කොළඹ අපරාධ කොට්ඨාශය වෙත කැඳවා සිටි අක්මීමන දයාරතන හිමියන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
තමන්ගේ උපදෙස් පරිදි ෂෆ්රාස් හම්සා ඇතුළු නීතිවේදීන් පිරිසක් රෝහින්ග්‍යා සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටි බව නීතිවේදී ෂිරාස් නූර්දීන් බීබීසී සිංහල සේවයට පැවසීය.
පසුගිය අප්‍රේල් 30 වෙනි දින කන්කසන්තුරේ මුහුදු තීරයේ පාවෙමින් තිබූ බෝට්ටුවක සිටියදී රෝහින්ග්‍යා සරණාගතයන් 30 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දෙනු ලැබීය.
ඉන් අනතුරුව අධිකරණය විසින් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වෙත භාර කරනු ලැබූ එම පිරිස වෙනත් රටවලට පිටත් කරන තුරු ගල්කිස්සේ නිවාසයක රඳවා සිටියහ.
ඒ අතර "නීති විරෝධී මියන්මාර ත්‍රස්තවාදීන් පිරිසක්" රැඳී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් පසුගිය සැප්තැම්බර් මස 26 වෙනි දින උද්ඝෝෂකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව එතනින් ඉවත් කිරීමට පොලිසියට සිදු විය.
ඉන් අනතුරුව එදිනම සවස් යාමයේ පොලිසිය විසින් සරණාගතයන් පිරිස යළිත් එම නිවසට රැගෙන ආ අවස්ථාවේ උද්ඝෝෂකයන් යළිත් වරක් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම හේතුවෙන් සරණාගතයන් පිරිස බූස්සේ රැඳවුම් කඳවුර වෙත රැගෙන යාමට පොලිසියට සිදුවිය.

සරණාගතයන් ගල්කිස්සේ නිවසට ගෙන ඒමට පෙර මිරිහාන පොලිස් රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී රෝහින්ග්‍යා තරුණියක දූෂණය කළ බවට චෝදනා එල්ල වූ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
චුදිත පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා වසන් කිරීමට උත්සාහ දරන බවට නීතිවේදී අජිත් ප්‍රසන්න සඳුදා (ඔක්තෝබර් 09) පොලිසියට චෝදනා කිරීමත් සමග ඔහු සහ පොලිසිය අතර අධිකරණයේ දී බහින් බස්වීමක් ද හට ගත්තේය.
දැනට එක්සත් ජාතීන්ගේ භාරයේ පසුවන රෝහින්ග්‍යා අනාථයන් පිරිස ලබන දෙසැම්බර් මාසය වනවිට වෙනත් රටවලට පිටත් කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරනු ඇතැයි නීතිවේදී ෂිරාස් නූර්දීන් මීට ඉහතදී විශ්වාසය පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඔවුන්ට සුරක්ෂිතව ශ්‍රී ලංකාවේ වාසය කළ හැකි බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.
මේ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයන් කණ්ඩායම් දෙකක් මෙයට පෙරාතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙනත් රටවලට පිටත් කරනු ලැබ තිබේ.
- රෝහින්ග්‍යා අර්බුදය: දරුවන් දස දෙනෙක් දියේ ගිලී මිය යති
- කිරුළ අහිමි රූ රැජිනක්
- රෝහින්ග්‍යා අර්බුදය: "ජාත්‍යන්තර විවේචනවලට බය නැහැ"
- රෝහින්ග්‍යා අර්බුදය: සුචීගේ 'අවසන් අවස්ථාව'
- රෝහින්ග්‍යා: මියන්මාර ජාතිකයන්ට ශ්‍රී ලංකාවට වීසා නැතිද?
- දූෂණයට ගොදුරු වූ රෝහින්ග්‍යා කාන්තාවන් කියන කතාව
- රෝහින්ග්‍යා "අන්තවාදීන්" බල ප්‍රදේශයක් ගොඩ නැගීමේ උත්සාහයක - හමුදාව











