රෝහින්ග්‍යා අර්බුදය: දරුවන් දස දෙනෙක් දියේ ගිලී මිය යති

Rohingya refugees arrive from Myanmar in Bangladesh. Photo: 7 October 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අසල්වැසි බංග්ලාදේශය වෙත පැමිණීමට උත්සාහ කරමින් සිටි රෝහින්ග්‍යා වැසියන් ගණනාවක් මීට ඉහතදීත් මරණයට පත් විය

මියන්මාරයේ පවතින ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පළා යමින් සිටි රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් අවම වශයෙන් දොළොස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව බංග්ලාදේශ බලධාරීහු පවසති.

බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පිහිටි නෆ් ගංගාවේ දී ඉරිදා (ඔක් 08) සිදු වූ අනතුරෙන් තවත් ගණනාවක් අතුරුදහන් වී තිබේ.

දරුවන් ඇතුළු සිය දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් බෝට්ටුවේ ගමන් කර ඇති බව විශ්වාස කෙරෙන අතර බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

අනතුරට පත් යාත්‍රාව තුළ නිශ්චිතවම කොපමණ සංඛ්‍යාවක් ගමන් ගත්තේ දැයි යන්න පැහැදිලි නොමැත.

බංග්ලාදේශ දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ගේ ඇස්තමේන්තුවලට අනුව එම පිරිස 40-100 අතර සංඛ්‍යාවක් විය හැක.

සොයා ගත් මළසිරුරු අතර දරුවන් 10, පුරුෂයෙකු සහ කාන්තාවක සිටින බව බලධාරීහු පවසති.

මියන්මාරය

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ සිදු කෙරෙන හමුදා වැටලීම් මධ්‍යයේ අසල්වැසි බංග්ලාදේශය වෙත පැමිණීමට උත්සාහ කරමින් සිටි රෝහින්ග්‍යා වැසියන් ගණනාවක් මීට ඉහතදීත් මරණයට පත් විය.

සැප්තැම්බර් මස අග සිදු වූ එවැනි එක් අනතුරකින් රෝහින්ග්‍යා වැසියන් 60 දෙනෙකු මරණයට පත් වූ බවට වාර්තා පළ විය.

මියන්මාරය හැර පළා යන බහුතරය ගොඩබිම් මාර්ග ඔස්සේ දේශ සීමා වෙත පැමිණියත් ඇතැම් කණ්ඩායම් කුඩා සහ අනාරක්ෂිත ධීවර බෝට්ටු ඔස්සේ මුහුදු මාර්ගයෙන් දේශ සීමා වෙත පැමිණීමට උත්සාහ කරති.

පසුගිය අගෝස්තු 25 වෙනිදා මියන්මාර පොලිස් මුරපොළවල් වෙත රෝහින්ග්‍යා කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග රඛයින් ප්‍රාන්තයේ හමුදා මෙහෙයුම් දියත් විය.

එතැන් පටන් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට අයත් සාමාන්‍ය වැසියන් දස ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අසල්වැසි බංග්ලාදේශ වෙත පළා ගොස් තිබේ.

A small village in the distance, over a verdant green field, burns fiercely under a column of thick black smoke
ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරයේ මුස්ලිම් ගම්මාන ගිනිබත් කර ඇති අයුරු බීබීසී වාර්තාකරුවන්ට දැක ගත හැකි විය

තමන් පළවා හැරීම සඳහා බෞද්ධ කලහකාරී පිරිස්වල සහාය ද ඇතිව මියන්මාර හමුදාව ඝාතන සහ ගම්මාන ගිනිබත් කරමින් දරුණු මෙහෙයුමක් දියත් කර ඇති බවට එලෙස පළා යන රෝහින්ග්‍යා වැසියෝ චෝදනා කරති.

වාර්ගික ශුද්ධයක් සහ ජනසංහාරයක් සිදු කරන බවට මියන්මාර හමුදාවට විශාල වශයෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදාව පවසන්නේ රෝහින්ග්‍යා කැරලිකරුවන් පමණක් සිය ඉලක්කය වී ඇති බවය.