රෝහින්ග්‍යා අර්බුදය: "ජාත්‍යන්තර විවේචනවලට බය නැහැ"

Myanmar State Counselor Aung San Suu Kyi delivers a speech to the nation over Rakhine and Rohingya situation, in Naypyitaw, Myanmar September 19, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රඛයින් ප්‍රාන්තයේ වෙසෙන "සියලූම ප්‍රජාවන් වෙනුවෙන් තිරසාර විසඳුමක් ලබා දීම සඳහා" මියන්මාරය කැප වී සිටින බව අවුන් සාන් සුචී පවසයි

රෝහින්ග්‍යා අර්බුදය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචනවලට සිය ආණ්ඩුව බිය නොවන බව මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී පවසයි.

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් වෙසෙන රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීමත් සමග එම තත්ත්වය වැළක්වීමට ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචී ජාත්‍යන්තරය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.

මුස්ලිම්වරුන්ගෙන් වැඩි දෙනෙකු රඛයින් ප්‍රාන්තයෙන් පළා නොගොස් ඇති බව කී ඇය එහි පැවති ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වී ඇති බව සඳහන් කළාය.

මියන්මාර පාර්ලිමේන්තුව අමතමින් අදහස් පළ කළ අවුන් සාන් සුචී, ගැටුම් හමුවේ පීඩාවට පත් "සියලු මිනිසුන්ගේ" වේදනාව තමන්ට දැනෙන බවත් කියා සිටියාය.

රඛයින් ප්‍රාන්තයේ වෙසෙන "සියලූම ප්‍රජාවන් වෙනුවෙන් තිරසාර විසඳුමක් ලබා දීම සඳහා" මියන්මාරය කැප වී සිටින බවත් ඇය සඳහන් කළාය.

A small village in the distance, over a verdant green field, burns fiercely under a column of thick black smoke
ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරයේ මුස්ලිම් ගම්මාන ගිනිබත් කර ඇති අයුරු බීබීසී වාර්තාකරුවන්ට දැක ගත හැකි විය

නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී නොවීමට අවුන් සාන් සුචී තීරණය කර ඇතත් රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් සිය ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීමට අවශ්‍ය බව ඇය පැවසුවාය.

එමෙන්ම මියන්මාරයේ සිට බංග්ලාදේශය වෙත පළා ගිය සරණාගතයන් යළි භාර ගැනීමට සූදානම් බවත් ඇය එහිදී කියා සිටියාය.

අර්බුදයට තුඩු දී ඇති ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට මියන්මාරය සූදානම් බව කී අවුන් සාන් සුචී එල්ල වන චෝදනා සහ ප්‍රතිචෝදනවලට ඇහුම්කන් දිය යුතු බවත් පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පෙර අදාළ චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ඇත්දැයි සොයා බැලිය යුතු බව සඳහන් කළ ඇය, රටේ පවත්නා නීතිය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් පිළිගන්නා ලද මානව හිමිකම් අබිබවා යන පුද්ගලයන්ට එරෙහිව ඔවුන්ගේ ආගම, ජාතිය, දේශපාලන මත නොසලකා කටයුතු කරනු ඇති බවත් අවධාරණය කළාය.

Rohingya refugees walk to a Border Guard Bangladesh (BGB) post after crossing the Bangladesh-Myanmar border by boat through the Bay of Bengal in Shah Porir Dwip, Bangladesh, 10 September 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අගෝස්තු 25 වෙනිදා සිට රෝහින්ග්‍යා වැසියන් ලක්ෂ ගණනක් බංග්ලාදේශය වෙත පළා ගියහ

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය තුළ පසුගිය මාසයේ හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් හාරලක්ෂයක් පමණ බංග්ලාදේශයට පළා ගියහ.

එවැනි තත්ත්වයක් ඇති වූයේ රෝහින්ග්‍යා ප්‍රජාවට අයත් කැරලිකරුවන් විසින් පොලිස් මුරපොලවල් වෙත ප්‍රහාර එල්ල කරනු ලැබීමත් සමගය.

එම ප්‍රහාර සහ ඉන් අනතුරුව හටගත් ගැටුම් හමුවේ රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන්ට සිය ගම්බිම් හැර පළා යාමට සිදු විය.

ඒ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය, මියන්මාරයෙන් ඉල්ලා සිටියේ "වාර්ගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස නොසලකා" සියලුම සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසය.