ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන් නය්ෂ්ඨික බෝම්බයක ආකෘතියක් සමග

ඡායාරූප මූලාශ්‍රය, Reuters/ KCNA

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912).

ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)

උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක්

ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ.

වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය.

ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.

ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ.

සබැඳි යොමු:

උතුරු කොරියාව වෙනුවෙන් ඇන්ගෝලාවේ නාවික හමුදා යාත්‍රා නවීකරණය කරන Green Pine Corporation නම් සමාගමේ නියෝජිතයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ එම නාවික යාත්‍රා විකිණීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව ද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව ඇන්ගෝලා නාවික හමුදා යාත්‍රා නවීකරණය කිරීම එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමක් බව ද වාර්තාවේ දැක්වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උතුරු කොරියාවේ නායක කිම් ජොන් අන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "උතුරු කොරියාව ගැන හෙළා දැකීම ජනපති දැන සිටියේ නැහැ"

ඒ හැරුණු විට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ගල් අඟුරු, යකඩ නිධි ඇතුළු තවත් ද්‍රව්‍ය උතුරු කොරියාවේ සිට නීති විරෝධී ලෙසින් ආනයනය කිරීම පිළිබඳව චීනය සහ මැලේසියාවට චෝදනා එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර එම භාණ්ඩ තොග එක්සත් ජාතීන් විසින් පරීක්ෂා කරනු ලැබුවේ ද යන්න සහ නොඑසේනම් එම භාණ්ඩ ආනයනය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ විශේෂ අවසරයක් යටතේ ද යන්න පිළිබඳව අදාළ රටවලින් කරනු ලැබූ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චීනය පමණක් බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව විමසීම පිණිස රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

උතුරු කොරියාව මෑතදී මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාව මෑතදී මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක්

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය.

රසායනික ආයුධ, බැලිස්ටික් මිසයිල සහ සාම්ප්‍රදායික අවි ආයුධ සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ සිරියානු ආණ්ඩුව සහයෝහයෙන් ක්‍රියාකරන බවට පළවන වාර්තා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, ඇන්ගෝලාව, එරිත්‍රියාව, මොසැම්බික් රාජ්‍යය, නැමීබියාව, සිරියාව උගන්ඩාව සහ ටැන්සානියාව යන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

න්‍යෂ්ඨික අත්හදා බැලීම

උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික බෝබ්ම නිෂ්පාදනය කළේ සහ මිසයිල අත්හදා බැලුවේ එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ ජාත්‍යන්තර බලපෑම් උල්ලංඝනය කරමිනි.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක්
ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවෙන්

උතුරු කොරියාව පසුගියදා න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.

පිපිරීම සමග හටගත් භූ කම්පාව චීනයට සහ රුසියාවට පවා දැනී තිබෙන අතර, උතුරු කොරියාවේ දේශසීමාව ආසන්නයේ හදිසි විකිරණ පරීක්ෂාවක් සිදු කරන බව චීනය නිවේදනය කළේය.

න්‍යෂ්ඨික බෝම්බය අත්හදා බැලීම පිළිබඳව වහාම ප්‍රතිචාරය පළ කළ දකුණු කොරියාව, රොකට් ප්‍රහාර එල්ල කරමින් සජීව හමුදා අභ්‍යාසයක නිරත විය.

ඒ සමගම උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි.

පසුගිය මාස දෙක ඇතුළත පමණක් අන්තර් මහද්වීපික මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව, එයින් එක් මිසයිලයක් ජපානයට ඉහලින් ශාන්තිකර සාගරයට විදීමට සමත්විය.