ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට පණිවුඩයක්

දකුණු කොරියාවේ විදේශ අමාත්‍ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර

ජාත්‍යන්තර බැඳීම්වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව උතුරු කොරියාවෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින තානාපති සබඳතාවලට වසර හතළිහක් පිරීම නිමිති කර ගනිමින් අද (මාර්තු 15) කොළඹදී උත්සවයක් පැවැත්විණි.

එම උත්සවයට පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග්-සෙ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර ගේ ප්‍රධානත්වයෙනි.

බෙදී පවතින කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින කලාපීය දේශපාලන උණුසුම පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව දෙරටේ විදේශ අමාත්‍යවරු පැවසූහ.

උතුරු කොරියාව පසුගියදා අලුතින් මිසයිල දියත් කළ අතර පසුගිය වසරේ දී න්‍යෂ්ටික අත්හදා බැලීමක් ද සිදු කළේය.

මිසයිල අත්හදාබැලීම්

"කොරියානු අර්ධද්වීපයේ දැනට පවතින වාතාවරණය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳත් අපි සාකච්ඡා කළා. කොරියානු කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා ඉවහල් වන පරිසරයක් සහතික කිරීම සඳහා ඔවුන් ගිවිස ගත් ජාත්‍යන්තර බැඳීම් අනුව කටයුතු කරන මෙන් කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් ඉල්ලා සිටින්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා" යනුවෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර උත්සවය අමතා පැවසීය.

line
line

එක්සත් ජාතීන් විසින් උතුරු කොරියාවට සම්බාධක පනවනු ලැබීමට ගත් පියවර සමග ශ්‍රී ලංකාව එක්ව සිටීම තම ආණ්ඩුව අගය කරන බව කී දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියෝන්ග් - සෙ කේෂ්ත්‍ර ගණනාවක් තුළ ශ්‍රී ලංකාව හා තවත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව සඳහන් කළේය.

දකුණු කොරියාවේ විදේශ අමාත්‍යවරයෙකු වසර තිස් එකකට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වේ.