ජපානයට ඉහළින් මිසයිල විදීම ගැන උතුරු කොරියාව

A missile is seen taking off from a grassy field in a burst of burning fuel and smoke

ඡායාරූප මූලාශ්‍රය, KCNA

තවදුරටත් මිසයිල අත්හදා බැලීමට ඇති සැලසුම් පිළිබඳ ඉඟි කරන උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම ශාන්තිකර කලාපයේ යුද මෙහෙයුම්වල "පළමු පියවර" බව පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර සාගරයේ පිහිටි ගුවාම් දූපත සම්බන්ධයෙන් ද උතුරු කොරියාව සිය රාජ්‍යය මාධ්‍ය ඔස්සේ අනතුරු අඟවා තිබේ.

උතුරු කොරියාව විසින් අඟහරුවාදා (අගෝස්තු 29) විදින ලද මිසයිලය ජපානයේ හොකයිදෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය.

මිසයිලය පතිත වීමට පෙර, ආරක්ෂක ස්ථානවලට ගොස් ආවරණය සලසා ගන්නා මෙන් ජපාන බලධාරීන් හොකයිදෝ දූපත්වාසීන් වෙත දන්වා තිබිණි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත දැඩි ලෙස හෙළා දකිනු ලැබීය.

මිසයිල අත්හදා බැලීම නවතා දමන ලෙස අඟහරුවාදා පස්වරුවේ නිව්යෝක් නුවරදී රැස් වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය උතුරු කොරියාවෙන් ඉල්ලා සිටියේය.

Kim Jong-un, seated in centre at a desk with a map, is seen surrounded by smiling officials and military personnel in an official photo

ඡායාරූප මූලාශ්‍රය, KCNA

උතුරු කොරියාවේ ක්‍රියා පිළිවෙත එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජික රටවලට තර්ජනයක් බව ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

නමුත් ප්යොංයෑං පාලනයට එරෙහිව අලුතින් සම්බාධක පනවන බවට එම නිවේදනය මගින් අනතුරු අඟවා නොමැත.

සබැඳි යොමු:

කොරියානු අර්ධද්වීපයේ යුද උණුසුම ඉහළ යාමට ඇමරිකාව විසින් එම කලාපයේ සිදු කරනු ලබන හමුදා ක්‍රියාකාරකම් ද බලපා ඇති බව රුසියාව සහ චීනය පවසති.

උතුරු කොරියාව මත තවදුරටත් පීඩනය යොදවන ලෙස නිල සංචාරයක් සඳහා බදාදා (අගෝස්තු 30) ජපානයට පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ චීනයෙන් ඉල්ලා සිටියාය.

උතුරු කොරියාව

එක්සත් ජාතීන් විසින් පනවන ලද තහනම නොතකා මෑත කාලය තුළ උතුරු කොරියාව විසින් දිගින් දිගටම මිසයිල අත්හදා බලනු ලැබීය.

අඟහරුවාදා ජපානයට ඉහළින් විදින ලද මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් :

  • කිලෝමීටර් 2700 (සැතපුම් 1678) ට වඩා දුරක් පියාසර කර ඇත
  • අලුතින්ම නිපැයූ මැදි දුර අවියක් වන හ්වාසොං - 12 විය හැකියැයි සැලකේ
  • කි.මී. 550 (සැතපුම් 342) ක උපරිම උසකින් පියාසර කළ ද එය උතුරු කොරියාව මීට පෙර කළ බොහෝ අත්හදා බැලීම් වලට වඩා පහළ මට්ටමකින් ඇදී යාමකි
  • කොටස් තුනකට වෙන් වීමෙන් පසු ජපාන වෙරළේ සිට කි.මී. 1180ක් දුරින් උතුරු ශාන්තිකර සාගරයට පතිත විය