ජපානයට ඉහළින් උ. කොරියානු මිසයිලයක් : "නොවූ විරූ තර්ජනයක්"

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් විදීම සිය රටට එල්ල වූ "පෙර නොවූ විරූ" තර්ජනයක් බව ජපාන අගමැති ෂෙන් සෝ අබේ පවසයි.
කොරියාවේ වේලාවෙන් අඟහරුවාදා (අගෝස්තු 29) අළුයම එල්ල කරන ලද එම මිසයිලය හොකයිඩෝ දූපතට ඉහළින් ඇදී ගොස් මුහුදට පතිත විය.
මීට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවා ඇත.
උතුරු කොරියාව මෑතක සිට මිසයිල අත්හදා බැලීම් ගණනාවක් ක්‍රියාත්මක කළ ද බැලිස්ටික් අවියක් යැයි සැළකිය හැකිවූවක් ජපානයට ඉහළින් විදින ලද පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර දෙවතාවකදී එනම්, 1998 සහ 2009 දී ජපානය හරහා ඇදී යන ලෙස රොකට් විදිනු ලැබූ උතුරු කොරියාව එවර පැවසුවේ, එම රොකට්ටු චන්ද්‍රිකා සදහා භාවිත කරන ලද ඒවා විනා අවි නොවන බවය.
ටෝකියෝ නගරයේ සිටින බීබීසීහි රූපට් වින්ෆීල්ඩ්-හේස් පැවසුවේ උතුරු කොරියාව අද විදින ලද මිසයිලය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් ගෙන යා හැකි තරමට බලසම්පන්න විය හැකි බවය.

ආරක්ෂාව පතා
උතුරු කොරියාවේ වේලාවෙන් උදෑසන 6ට පෙර නැගෙනහිර දෙසට එල්ල කරන ලද මිසයිලය විදිනු ලැබ ඇත්තේ ප්යොංයෑං අගනුවරට ආසන්න තැනක සිට බව දකුණු කොරියානු හමුදාව පැවසීය.
මිසයිලය පිළිබද කෙරුණු විශ්ලේෂණයක් :
- කිලෝමීටර් 2700 (සැතපුම් 1678) ට වඩා දුරක් පියාසර කර ඇත.
- අලුතින්ම නිපැයූ මැදි දුර අවියක් වන හ්වාසොං - 12 විය හැකියැයි සැලකේ.
- කි.මී. 550 (සැතපුම් 342) ක උපරිම උසකින් පියාසර කළ ද එය උතුරු කොරියාව මීට පෙර කළ බොහෝ අත්හදා බැලීම් වලට වඩා පහළ මට්ටමකින් ඇදී යාමකි.
- කොටස් තුනකට වෙන් වීමෙන් පසු ජපාන වෙරළේ සිට කි.මී. 1180ක් දුරින් උතුරු ශාන්තිකර සාගරයට පතිත විය.
මිසයිලය බිම හෙලීම සඳහා ජපානය උත්සාහ නොදැරුව ද ආරක්ෂාව පිළිබද අනතුරු ඇඟවීම් නිකුත් කරමින් හොකයිඩෝ දූපත්වාසීන්ට කියා සිටියේ "ශක්තිමත් ගොඩනැගිල්ලක හෝ භූගත මහලක" ආවරණය සලසා ගන්නා ලෙසය.
ඇමරිකානු සහ ජපාන හමුදා දැනට හොකයිඩෝහි යුද අභ්‍යාසවල යෙදී සිටිති.
මතු වූ තත්ත්වයට ප්‍රතිචාර දක්වන ලෙස දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් නියෝග කළේය.
එරට ජෙට් යානා 4ක් ජීව බෝම්බ හෙලීමේ අභ්‍යාසයක අඟහරුවාදා (අගෝස්තු 29) යෙදිණි.
මේ අතර ජපාන අගමැති ෂින් සෝ අබේ පැවසුවේ තමන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමතූ අතර උතුරු කොරියාවට එල්ල කරන පීඩනය උත්සන්න කිරීමට දෙපාර්ශවය ම එකග වූ බවය. "උතුරු කොරියාවේ නොහික්මුණු ක්‍රියාව අපගේ ජාතියට එල්ල වූ පෙර නොවූ විරූ, බරපතල සහ අතිශය තර්ජනාත්මක ක්‍රියාවක්" බව ජපාන අගමැතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඔහු වැඩිදුරටත් සදහන් කළේ, "කලාපීය සාමය හා ආරක්ෂාවට බරපතල හානියක්" බවය.
කෙසේවෙතත්, සිය ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා කළ හැකි ඉහළම දේ තම රජය ඉටු කරන බව ජපාන අගමැතිවරයා පැවසීය.
සබැඳි පුවත්;

අලුතින් තහංචි දැමීම හේතුවෙන් "එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට" තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ "ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්" බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි.

තම රටට එරෙහිව තවත් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් "එකට එක" කරන බවට උතුරු කොරියාව පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
න්‍යෂ්ටික ව්‍යාපෘතිය පාලනය කර ගන්නා මෙන් චීනය පසුගියදා උතුරු කොරියාවෙන් ඉල්ලීමක් කළ අතර ඒ සමඟ කිම් ජොන් අන් පාලනය ඉන් පෙර සිදු නොකළ ආකාරයේ පියවරක් ගනිමින් චීනය ද දරුණු දෝෂ දර්ශනයට ලක් කළේය.
චීනය සාම්ප්‍රධායිකව සැලකෙන්නේ උතුරු කොරියාවේ මිතුරු රාජ්‍යයක් හැටියටයි.
එය චීනයේ මෝඩ දේශපාලකයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමක් හැටියට උතුරු කොරියාවේ රාජ්‍ය පුවත් ආයතනය විසින් විග්‍රහ කරනු ලැබ තිබුණි.









