උතුරු කොරියාව 'පළමු න්‍යෂ්ටික ප්‍රහාරයට' සූදානම්

'ඕනෑම තැනක ඕනෑම වේලාවක සූදානමින්'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඕනෑම තැනක ඕනෑම වේලාවක සූදානමින්'

තමන් ඉලක්ක කරගත් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු ලැබීමට පෙර පළමු න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීම ද ඇතුළුව සිය යුද ශක්තිය නංවාලීම දිගටම පෙරට ගෙනයන බවට උතුරු කොරියාව අනතුරු ඇඟවීමක් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහිව ගෙන යමින් පවතින එදිරිවාදී පිළිවෙතින් බැහැර නොවී ඔවුන් විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ප්‍රතිචාරය දැක්වීමට තමරට සූදානම් බව 'ප්යෝන්ග්යෑන්ග්' විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

තවදුරටත් අදහස් දක්වන එම විදේශ අමාත්‍යාංශ ප්‍රකාශනය ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සියරටේ න්‍යෂ්ටික ශක්තිය වැඩි දියුණු කිරීමේ සැලසුම් සමඟ උතුරු කොරියානු නායකත්වය ක්‍රියා කරනු ඇතැයි ද සඳහන් කරයි.

අවි බලය පිරික්සමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, අවි බලය පිරික්සමින්

'ප්යෝන්ග්යෑන්ග්' නුදුරු අනාගතයෙහි ඔවුන්ගේ සයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීමත් සිදු කරනු ඇතැයි අදහස් පළ වෙමින් පවතී.

එවැනි පරිසරයක සිදුකර ඇති ඉහත කී ප්‍රකාශය එම න්‍යෂ්ටික පිපිරීම පිළිබඳව කෙරෙන ඇඟවීමක් ලෙස සැලකෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව විසින් වාර්ෂිකව සිදු කරන ඒකාබද්ධ යුද සරඹ හැම වසරකම මෙම කාල වකවානුවේ පැවැත්වෙන අතර, උතුරු කොරියාව එම යුද සරඹ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ මෙම කාල සීමාව තුළ කොරියානු අර්ධද්වීපයේ දරුණුතම ගැටුම්කාරී තත්වයක් නිතරම උත්සන්න වෙයි.

ඇමෙරිකානු යුද සැලසුම් වලට එරෙහිව දකුණු කොරියාවේ විරෝධතා ව්‍යාපාරයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු යුද සැලසුම් වලට එරෙහිව දකුණු කොරියාවේ විරෝධතා ව්‍යාපාරයක්