චීනය සහ රුසියාව උතුරු කොරියානු න්‍යෂ්ටික පිපිරවීම හෙළා දකිති

ජලකර බෝම්බය පිපිරවීමට පෙර එය අධීක්ෂණය කරන උතුරු කොරියානු නායක කිම් ජොන් අන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters/kcna

ඡායාරූප ශීර්ෂ වැකිය, ජලකර බෝම්බය පිපිරවීමට පෙර එය අධීක්ෂණය කරන උතුරු කොරියානු නායක කිම් ජොන් අන්

උතුරු කොරියාව විසින් සිදු කරන ලද අලුත්ම න්‍යෂ්ටික පිපිරීම ලෝකය පුරා මහා පරිමාණයෙන් හෙළා දැකීමට ලක් වෙමින් ඇත.

කිම් ජොන් අන් පාලනයේ බලවත්ම මිතුරු රාජ්‍යය වන චීනය නිවේදනයක් නිකුත් කරමින්, එම පිපිරවීම දැඩිව දෝෂ දර්ශනයට ලක් කරයි.

න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරන මෙන් උතුරු කොරියාවට දැනුම් දෙන චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීන්දුවලට ගරු කරන මෙන් 'ප්යෝන්ග්යාන්' පාලනයෙන් ඉල්ලීමක් ද කළේය.

එම න්‍යෂ්ටික පිපිරවීම සාමය සහ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව රුසියාව පවසයි.

ජපානයේ විදේශ ඇමති ටාරෝ කෝනෝ (Taro Kono) ප්‍රකාශයක් කරමින් උතුරු කොරියාවේ ක්‍රියාව සමාව දිය නොහැකි වරදක් වන බව සඳහන් කළේය.

උතුරු කොරියානු පාලනයට එරෙහිව දැඩි දඬුවම් දිය යුතු බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ අන් (Moon Jae-in )කියා සිටියි.

'ප්යෝන්ග්යාන්' පාලනය සහමුළින්ම හුදෙකලා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ වහා ක්‍රියාවට නැංවිය යුතු බවත් දකුණු කොරියානු නායකයා යෝජනා කරයි.

න්‍යෂ්ටික පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (IAEA) නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව විසින් ගන්නා ලද පියවර අතිශයින් කනගාටුදායක එකක් වූ බව පෙන්වා දී ඇත.

බෝම්බය සාර්ථක වූ බව නිවේදනය කරන උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය

ඡායාරූප මූලාශ්‍රය, kcna

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝම්බය සාර්ථක වූ බව නිවේදනය කරන උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය

සිය නවතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ උතුරු කොරියාව තමන් විසින් ජලකර බෝම්බයක් සාර්ථකව අත්හදා බලන ලද බවත් එය මිසයිල මගින් ප්‍රහාර සඳහා උපයෝගී කර ගත හැකි යුද අවියක් බවත් අනාවරණය කළේය.

මෙය උතුරු කොරියාව පෘථිවි කුහරය අභ්‍යන්තරයේ පුපුරවන ලද හයවැනි න්‍යෂ්ටික බෝම්බයයි.

මෙම බෝම්බය මෙයින් අවුරුද්දකට පමණ පෙර ඔවුන් විසින් පුපුරවන ලද පස්වෙනි බෝම්බයට වඩා දහ ගුණයකින් ප්‍රබල බව ජපානයේ විද්‍යාඥයෝ පවසති.

න්‍යෂ්ටික පිපිරවීම හෙළිදරව් කරමින් ප්‍රකාශයක් කළ උතුරු කොරියානු රාජ්‍ය රූපවාහිනිය 'එම කාර්යය සිය රටේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම දෙසට තබන ලද ඉදිරි පියවරක්' ලෙස විග්‍රහ කර තිබුණි.

න්‍යෂ්ටික පිපිරවීම සිදු කරන ලද ස්ථානය තරුවකින් දැක්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA/USGS

ඡායාරූප ශීර්ෂ වැකිය, න්‍යෂ්ටික පිපිරවීම සිදු කරන ලද ස්ථානය තරුවකින් දැක්වෙයි

එම න්‍යෂ්ටික පිපිරීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.