කිම් ජොන්ග් අන් ගේ වත්කම් අනතුරේ

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

උතුරු කොරියාවට එරෙහිව තවත් සම්බාධක පැනවීමේ යෝජනාවලියක් එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වෙත ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලියට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ වත්කම් අත්හිටුවීම ද ඇතුළත් වෙයි.

මීට අමතරව උතුරු කොරියාවට ඛනිජ තෙල් තහංචියක් පැනවීමට මෙම කෙටුම්පතින් යෝජනා වී තිබේ.

එක්සත් ජනපදය මෙම පියවර ගෙන ඇත්තේ උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ හයවැනි න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් අනතුරුව ය.

තමන් සතුව හයිඩ්රිජන් බෝම්බයක් පවතින බවටත් එක්සත් ජනපදයට පහර දෙන බවටත් උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කරමින් සිටියි.

මිසයිල නාශක ආරක්ෂක පද්ධතියක් ස්ථාපනය කළ බවට දකුණු කොරියාව නිවේදනය කළේය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මිසයිල නාශක ආරක්ෂක පද්ධතියක් ස්ථාපනය කළ බවට දකුණු කොරියාව නිවේදනය කළේය

කෙසේ නමුත් තවදුරටත් සම්බාධක පැනවීම සඳහා ඇමරිකාව ගෙන එන යෝජනාවලියට චීනය සහ රුසියාව එකඟ නොවනු ඇති බවට විශ්වාස කෙරේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැනටමත් උතුරු කොරියාවට එරෙහිව දැඩි සම්බාධක පනවනු ලැබ තිබේ.

උතුරු කොරියාවේ අපනයන ආදායම ඉලක්ක කරගනිමින් පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් ඩොලර් බිලියනයක පාඩුවක් එරටට සිදුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එය උතුරු කොරියාවේ මුළු අපනයන ආදායමෙන් තුනෙන් එකකි.

උතුරු කොරියාවේ නායකයාගේ වත්කම් අත්හිටුවීමට අමතරව ඔහු සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ බලධාරීන්ට සංචාරක තහනමක් ද නව යෝජනාවලිය මගින් පැනවීමට නියමිතය.

මෙම යෝජනාවලිය සම්මත වුවහොත් උතුරු කොරියානු ජාතිකයන්ට වෙනත් රටවල රැකියා ලබා දීම තහනම් කෙරෙනු ඇත.

නවතම න්‍යෂ්ටික අත්හදා බැලීම සිය ජනතාව මෙසේ සැමරූ බව උතුරු කොරියානු නිල පුවත් සේවය වාර්තා කර තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, නවතම න්‍යෂ්ටික අත්හදා බැලීම සිය ජනතාව මෙසේ සැමරූ බව උතුරු කොරියානු නිල පුවත් සේවය වාර්තා කර තිබුණි

චීනය සහ රුසියාව, උතුරු කොරියාවට ඛනිජ තෙල් සපයන රටවල් දෙකක් වන අතර ඔවුන් මෙම යෝජනාවලියට විරුද්ධව ඡන්දය භාවිත කළහොත් එය සම්මත නොවේ.

උතුරු කොරියාවේ බලවත් මිත්‍ර රාජ්‍යය වන චීනය, දෙපාර්ශවයෙන්ම සංවරය සහ හික්මීම ඉල්ලා සිටී.

පවතින උණුසුම් තත්වය තවදුරටත් උග්‍ර වන අයුරින් "අදාළ සියලු පාර්ශව" සිදු කරන "වචන හුවමාරුව" වහා නතර කළ යුතු බව චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති ට්‍රම්ප් දුරකතනයෙන් අමතා පවසනු ලැබූ බව මෑතකදී චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර විරසකය උත්සන්න වන්නට පටන් ගත්තේ පසුගිය ජූලි මාසයේ උතුරු කොරියාව විසින් සිදුකරනු ලැබූ බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම් දෙකකින් අනතුරුවය.