"භාෂා දෙකක් දත් තැනැත්තා දැනුමින් දෙන්නෙක්"

භාෂා මගින් ජන කොටස් අතර පාලමක් ඉදි කිරීමේ ප්‍රයත්නයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, භාෂා මගින් ජන කොටස් අතර පාලමක් ඉදි කිරීමේ ප්‍රයත්නයක්

නිදහසින් අනතුරුව ශ්‍රී ලංකාව මෙන්ම භාෂා දේශපාලන ගැටුම්වලට මුහුණ දී ඇති ඉන්දියාව ඉන් මිදීමට ගනු ලබන ප්‍රයත්නයක් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඉන්දියාවේ ව්‍යවහාර භාෂා සිය ගණනක් ඇතත් ඒවා අතරින් නිල වශයෙන් පිළිගනු ලැබ ඇති භාෂා සංඛ්‍යාව විසි දෙකක් පමණි.

විවිධ භාෂා කතා කරන රටේ වෙනත් ප්‍රදේශ වලින් සිය ප්‍රාන්තයට පැමිණෙන සංක්‍රමණික කම්කරුවන් සමාජයට අනුයුක්ත කර ගැනීම සඳහා කේරළ ප්‍රාන්තය විසින් දියත් කරනු ලැබ ඇති එම වැඩ පිළිවෙළ සමාජයීය වශයෙන් අගය කිරීමට ලක් වෙමින් පවතී.

එම ව්‍යාපෘතිය වන්නේ කේරළයට එන 'ආගන්තුකයන්ට' මලයාලම් ද ඇතුළුව සන්නිවේදනය සඳහා අවශ්‍ය වෙනත් භාෂා ඉගැන්වීමයි.

කේරළ බලධාරීන් විසින් ඒ සඳහා පොත්පත් පවා මුද්‍රණය කරනු ලැබ ඇත.

දකුණු ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයන්හි හින්දි භාෂාවට එරෙහි විරෝධතා පෙරට යමින් පවතින අතරවාරයේ කේරළ රාජ්‍ය දූත බල අධිකාරිය විසින් (KSMA) විසින් "අපේ මලයාලම් භාෂාව" යන තේරුම දෙන "හමාරි මලයාලම්" ( Hamari Malayalam - Our Malayalam) නමින් පොතක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර කේරළ ප්‍රාන්තය තුළ භාෂාව මුල්කර ගත් ගැටුම් සහ සමාජ බෙදීම් සමනය කිරීමට එම කෘතිය ඉවහල් වෙතැයි සැලකෙයි.

එම කේරළ භාෂා ව්‍යාපෘතිය වැනි වැඩ සටහන් දියත් කරනු ලැබීම මගින් ශ්‍රී ලංකාවේත් වෙනත් භාෂා කතා කරන ජන කොටස් අතර අන්තර් සම්බන්ධතාවක් ගොඩ නැගිය හැකි බව දමිළ භාෂා විශාරද ආචාර්ය පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය දමිළ භාෂාවෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවේ ජාතික ගීය දමිළ භාෂාවෙන්

එහෙත් ශ්‍රී ලංකාවේ තවමත් ප්‍රශ්නය වී තිබෙන්නේ එම භාෂාවන් ඉගැන්වීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් නොමැතිකම බවත් ඔහු පෙන්වා දෙයි.

පාසල්වල දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහන් ඇතත් අඩු තරමින් සාමාන්‍ය පෙළ විභාගයට එම භාෂාව අනිවාර්ය කර නැතැයි ආචාර්ය පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න පෙන්වා දෙයි.

"සිංහල සහ දමිළ සිසුන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා භාෂා දෙක අනිවාර්ය කළ යුතුව තියෙනවා" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

"සිංහල පාර්ශවය ගත්තොත් තියෙන ප්‍රශ්නය තමයි දමිළ භාෂාව ඉගෙන ගැනීම සඳහා තවමත් ඇති නොකැමැත්ත. ඒත් මගේ අත්දැකීම තමයි අද උතුරු පළාතේ සිංහල ඉගෙනීමට විශාල උනන්දුවක් තියෙනවා. ඒත් ඔවුන්ට ඒකට පහසුකම් නැහැ. ඒ උනන්දුවට ඒක හේතුවක් වී තිබෙන්නේ රාජ්‍ය සේවයේ උසස්වීම් සඳහා සිංහල භාෂාව අනිවාර්ය කිරීම" ආචාර්ය පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න පවසයි.

බහු භාෂා කතා කරන රටක මාර්ග සංඥා එක භාෂාවකින්
ඡායාරූප ශීර්ෂ වැකිය, බහු භාෂා කතා කරන රටක මාර්ග සංඥා එක භාෂාවකින්

මේ අතර බීබීසී සිංහල අංශය කළ විමසීමක දී අදහස් දැක්වූ උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ' රටේ සියලු දෙනා භාෂා ද්වය තේරුම් ගැනීමේ වැදගත්කම පහදමින් එහෙත් එය දමිළ ජනයාට සිංහල ඉගැන්වීමේ වැඩ පිළිවෙලකට ලඝු කළ යුතු නැතැයි' කියා සිටියේය.

"අපි දෙගොල්ලන් කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බැරි නිසා හුඟක් කරදරවලට වැටිලා තියෙනව. ඒ නිසා සිංහල අය දෙමළ භාෂාවත් දෙමළ අය සිංහල භාෂාවත් දැන ගැනීම වැදගත්.නමුත් සිංහල ජනතාව දෙමළ ඉගෙන ගන්නේ නැතිව අපට සිංහල ඉගැන්වීමට ගියොත් ඒක ප්‍රශ්නයක් වේවි . එහෙම කළොත් ඒක අප රැවටීමක්" මහ ඇමතිවරයා සඳහන් කළේය.

දකුණු ඉන්දියාවේ බොහෝ පලාත්වල හින්දි භාෂාව විදේශීය භාෂාවක තත්වයට පත්ව ඇති බව දිල්ලි සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන සතිෂ් දේෂ්පාන්ඩේ (Satish Deshpande) පවසයි.

"මේ සම්බන්ධයෙන් අලුත්ම අත්දැකීමක් සඳහන් කරන්න කැමතියි. ඒක ප්‍රාන්තයක් ප්‍රදේශයේ බහුතර ජනමතය නොතකා හින්දි භාෂාවට මුල්තැන දීමේ උත්සාහයක් ගත්තා. එතැන විශාල කලබගෑනියක් ඇතිවුනා. මොකද? භාෂාව ඔවුන්ගේ අනන්‍යතාවේ කොටසක්" මහාචාර්යවරයා බීබීසියට ප්‍රකාශ කළේය.

කේරළ ප්‍රාන්තයේ දුම්රිය මධ්‍යස්ථාන සහ තාප්ප ආදියේ හින්දි භාෂාවෙන් ලියැවුන පුවරු මත තාර ගෑමේ ව්‍යාපාරයක් පසුගිය මාසයේ වාර්තා විය.

තමිල්නාඩු ප්‍රාන්තයේ මාර්ග සලකුණු ලියා තිබුණ ඉංග්‍රීසි භාෂාව ඉවත් කොට ඒවා හින්දි භාෂාවෙන් යළි ලියනු ලැබීමට එරෙහිව පසුගිය මාර්තු මාසයේ විරෝධතා රැල්ලක් පැතිර ගියේය.

"භාෂාවට ඉන්දියාව තුළ ඓතිහාසික අවකාශයක් තිබුණා. එය නිතරම දේශප්‍රේමයට සම්බන්ධ දෙයක්" මහාචාර්ය සතිෂ් දේෂ්පාන්ඩේ පවසයි.

මහ ඇමති විග්නේශ්වරන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මහ ඇමති විග්නේශ්වරන්

"මිනිස්සු ජීවත් වෙන තැන් වලට ගිහින් 'මලයාලම්' භාෂාව උගන්වමින් ඔවුන් කේරළ සමාජයට බද්ධ කර ගැනීමට අපි කටයුතු කරනවා" කේරළ රාජ්‍ය දූත බල අධිකාරියේ (KSMA) ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය පී.එස්.ශ්‍රීකලා පවසන්නීය.

"ඉන්දියාවේ විවිධ පළාත්වලින් කේරළයට එන බොහෝ දෙනෙක් හින්දි භාෂාව වත් නොදන්නා" බව ඇය පෙන්වා දෙයි.

" ඒ තත්වය යටතේ අපි හින්දි භාෂාව පවා ඉගැන්වීමට පියවර ගන්නවා" ආචාර්ය පී.එස්. ශ්‍රීකලා වැඩි දුරටත් සඳහන් කළාය.

මේ ව්‍යාපෘතිය තුළදී ඉතා උද්‍යෝගී ශිෂ්‍යයන් හමු වෙන බවත් සංවිධායකයෝ පවසති.

" මලයාලම් ඉගෙන ගැනීම ඉතා දුෂ්කර බව මට තේරුණා. මොකද ? කේරළයේ මිනිස්සු හින්දි භාෂාව කතා කරන්නේ නැහැ" බටහිර බෙන්ගාලයෙන් පැමිණි ඉදිකිරීම් අංශයේ කම්කරුවකු වන අබ්දුල් රෙහ්මාන් පවසයි.

"මුලදී ටිකක් අමාරු වුනා. ඒත් පස්සේ මම 'මලයාලම්' අල්ල ගත්තා" අබ්දුල් රෙහ්මාන් කියා සිටියි.

ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් පැමිණි සංජීව් ගුරුං පවසන පරිදි ඔහුට 'මලයාලම්' ඉගෙනීමට මාස තුනක කාලයක් ගත විය.

"මම 'මලයාලම්' කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ලියන්නයි කියවන්නයි පුළුවන් වුනොත් හරිම වටිනවා" සංජීව් ගුරුං පවසයි.

"භාෂා එකක් දත් තැනැත්තා එක්කෙනෙක් - භාෂා දෙකක් දත් තැනැත්තා දෙදෙනෙක් වැනියි" පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "භාෂා එකක් දත් තැනැත්තා එක්කෙනෙක් - භාෂා දෙකක් දත් තැනැත්තා දෙදෙනෙක් වැනියි" පණ්ඩිත් මඩුළුගිරියේ විජේරත්න පවසයි.

එහෙත් හැම සංක්‍රමණිකයෙක්ම සංජීව් ගුරුං තරම් දක්ෂ නැත.

මොහොමඩ් නජ්මාල් හක් මාස තුනක කාලයක් තුළ මතකයේ රඳවා ගත්තේ 'මලයාලම්' වචන කීපයක් පමණි.

මොහොමඩ් නජ්මාල් හක් ඇසෑම් ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූවෙකි. 'ප්ලයිවුඩ්' (plywood) කම්හලක සේවය කරන ඔහුගේ හාම්පුතා හින්දි භාෂාව කතා කරයි. හක් පවසන පරිදි එම කම්හලේ කම්කරුවන් අදහස් හුවමාරු කර ගන්නේ ඇසෑමයේ භාෂාවෙනි.

සංක්‍රමණිකයන් ඔවුන් ජීවත් වෙන ප්‍රදේශයේ භාෂාවලින් අදහස් හුවමාරු කර ගැනීමට අපොහොසත් වීමෙන් එම සංක්‍රමණිකයන් දිගින් දිගටම පිටස්තරයන්ගේ තත්වයෙහි තැබෙන අතර ඔවුන් සමාජයෙන් වියුක්ත වූ මානසිකත්වයක සිරකර තැබීමක් ද සිදු වෙයි.

"කේරළයේ මිනිස්සු සංක්‍රමණිකයන් අපරාධ කාරයන් හැටියටත් හඳුන්වනවා. මොකද? ඔවුන් සියලු දෙනාම වෙනත් ප්‍රාන්ත වලින් ආපු මිනිස්සු නිසා" සිය නම සඳහන් නොකළ කේරළ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එහෙත් ඒ අතරම කේරළ වැනි ප්‍රාන්තයක වැඩ කිරීමේ වාසිය ඇතැම් සංක්‍රමණික කම්කරුවෝ තේරුම් ගනිති."භාෂා දෙකක් දත් තැනැත්තා දැනුමින් දෙන්නෙක්"

කේරළයේ සංක්‍රමණික කම්කරුවන් කණ්ඩායමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කේරළයේ සංක්‍රමණික කම්කරුවන් කණ්ඩායමක්

"කේරළ ප්‍රාන්තයේ දී අනිත් ප්‍රාන්තවලදි වගේ දවසකට පැය අටකට වැඩියෙන් වැඩ කරන්න අවශ්‍ය නැහැ .මොකද? කේරළයේ ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරය මගින් පැය අටේ සේවක අයිතිය තහවුරු කරල තියෙන නිසා" මොහොමඩ් නජ්මාල් හක් පවසයි.

සංක්‍රමණික ශ්‍රම බලකාය පිළිබඳ විශේෂඥයකු වන කේරළ සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාචාර්ය ඉරුදය රාජන් (Irudaya Rajan) සිය ප්‍රාන්තයට සංක්‍රමණික ශ්‍රමය ගලා ඒමේ වැදගත්කම දකියි.

"සංක්‍රමණිකයන්ට කේරළය අවශ්‍යයි, කේරළයට සංක්‍රමණික ශ්‍රමිකයන් අවශ්‍යයි" මහාචාර්ය ඉරුදය රාජන් කියා සිටියි.

මහාචාර්ය රාජන් පවසන ආකාරයට කේරළයේ බොහෝ හාම්පුතුන් වෙනත් ප්‍රාන්තවලින් ශ්‍රමිකයන් ආකර්ෂණය කර ගැනීමට මනාපයක් දක්වති.

ඊට හේතුව එම පිටස්තර සංක්‍රමණික ශ්‍රමිකයන් අඩු වැටුපකට වැඩෙහි යොදා ගැනීමට හැකි වීමයි.

"ආගන්තුක ශ්‍රමිකයන්ට වඩා වැඩි වැටුපක් කේරළ ශ්‍රමිකයන් වෙනුවෙන් ගෙවන්න වෙනවා" මහාචාර්ය රාජන් පවසයි.

භාෂා ප්‍රභේද සහ සංස්කෘතිකමය අනන්‍යතා හමුවේ ප්‍රාදේශීය මට්ටමින් බෙදී යන ඉන්දියානු සමාජය එකමුතු කිරීමේ එක් මාධ්‍යයක් හැටියට වෙනත් භාෂා ඉගැන්වීමේ ව්‍යාපෘති මගින් මෙහෙයක් සිදු කෙරෙන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.