අලුත්ගම කෝලාහලයට ගොදුරුවූවන්ට මුදලින් වන්දි

2014 වසරේ ජුනි 15 හා 16 වැනි වැනි දිනවල අළුත්ගම සහ බේරුවල සිදු වූ ගැටුම් වලින් මරණයට පත් සහ තුවාල ලද පුද්ගලයන්ට වන්දි ලබා දීමට රජය තීරණය කර ඇත.
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු කටයුතු භාර ඇමති ඩී එම් ස්වාමිනාදන් ඊට අදාළ යෝජනාව අද (අගෝස්තු 22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි.
මෙයින් වසර තුනකට පමණ පෙර පැතිර ගිය අළුත්ගම සහ බේරුවල ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මරා දැමුණ අතර තවත් අයට තුවාල සිදු විය.
එම මිය ගිය අයගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ වන්දි මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමේ දී මරණයට පත්වූවන් සහ යාපනය විශ්ව විද්‍යාලයේ මිය ගිය සිසුන් වෙනුවෙන් ද රුපියල් ලක්ෂ විස්ස බැගින් වන්දි මුදල් ගෙවා තිබෙන බව අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

ඊට අතිරේකව,අලුත්ගම සහ බේරුවල ප්‍රහාර වලින් තුවාල ලැබූ දොළොස් දෙනෙකුට රුපියල් ලක්ෂ පහක් බැගින් වන්දි ලබා දීමට ඉදිරිපත් වූ යෝජනාවකට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.
අළුත්ගම ගැටුමේ දී සියයකට අධික නිවාස හා ව්‍යාපාරික ස්ථාන විනාශ වූ අතර එම නිවාස හා ව්‍යාපාරික ස්ථාන හමුදාව යොදා අලුත්වැඩියා කිරීමට එවකට බලයේ සිටි රජය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, එම නිවාස වල හා ව්‍යාපාරික ස්ථානවල තිබී විනාශ වූ බඩු භාණ්ඩ ආදියට කිසිදු වන්දියක් හිමි නොවූ බව ප්‍රදේශවාසීහු බීබීසියට අදහස් දක්වමින් කියා සිටියහ.
වැරදි කරුවන්ට දඬුවම් කෝ ?
අළුත්ගම ප්‍රහාරවලට සම්බන්ධ වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන බවට නව ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රතිඥාවක් දී ඇතත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගිය ජුනි මාසයේ චෝදනා කළේය.

ඒ සම්බන්ධයෙන් සිදු වූ හෝ සිදු කෙරෙන පරීක්ෂණ ගැන ආණ්ඩුවෙන් විමසීමක් කළත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබිණි.
අළුත්ගම ප්‍රහාරයෙන් සිදු වූ මරණ පිළිබඳව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර පොලිසිය එම ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් තවමත් හඳුනා ගෙන නැත.
2014 අළුත්ගම කෝලාහලයේ දී වෙඩි තැබීමකින් පුද්ගල ඝාතනයක් සිදු වූ බව තහවුරු වී ඇත.
විදේශ වාර්තාකරුවන්ගේ සංගමය එම ගැටුම් සිදු වූ වකවානුවේ පාලකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා හමු වූ අවස්ථාවේ එම ඝාතනය පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා "අලුත්ගම ගැටුම්වල දී වෙඩි තැබීමක් සිදු වූ බව තමාට පළමු වතාවට අසන්නට ලැබුණේ එම ප්‍රශ්නය තුළින්" යයි කියා සිටියේය.









