ක්‍රිකට්: ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කරයි

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති චැම්පියන්ස් කුසලාන මූලික වටයේ තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට මින් මොහොතකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගය ආරම්භ වූ අවස්ථාවේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.

ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු 321 ක් රැස් කර ගත්තේය.

එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී නියමිත ඉලක්කය හඹායාමට සමත්විය.

පන්දු 93 කට ලකුණු 89 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා වශයෙන් නම් කෙරිණ. තරගය නිමාවන විට නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියේය.

අලුත් වාර්තාවක්

ඕවල් පිටියේදී ඉන්දියාවට එරෙහිව කඩුලු තුනක් දැවී රැස්කරගත් ලකුණු 322 චැම්පියන්ස් කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව හඹා ගොස් ජයග්‍රහණය ලැබූ ඉහලම ලකුණු සංඛ්‍යාවය.

එමෙන්ම එය ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ හඹා ගොස් ජයග්‍රහණය ලැබූ දෙවැනි ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද වාර්තා අතරට එක්වේ.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය තුළ රැඳී සිටීම පිණිස ශ්‍රී ලංකාව මේ තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය කොන්දේසියක් බවට පත්ව තිබුණි.

බී කාණ්ඩයේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පළමු තරගයෙන් පරාජය වූ අතර, ලබන 12 වෙනි දින කාඩිෆ් නුවරදී පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතය.

එහිදී පාකිස්තානය පරාජය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම 'ශූරයන්ගේ කුසලානයේ' දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ඉඩ තිබේ.

මේ අතර ඒ කාණ්ඩයෙන් තරග කරන සත්කාරක එංගලන්ත කණ්ඩායම පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබා සිටියි.

බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල් මේවන විට චැම්පියන්ස් කුසලානයේ වැඩිම ලකුණු රැස් කර ගෙන සිටින ක්‍රීඩකයාවන අතර, එංගලන්ත කණ්ඩායමේ ලියම් ප්ලන්කට් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින ක්‍රීඩකයාය.