ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චැම්පියන් ශූරතා ක්‍රිකට් තරඟාවලිය ඇරඹෙයි
එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන "2017 චැම්පියන් ශූරතා ක්‍රිකට් තරඟාවලිය" අද (ජූනි 01) එංගලන්ත වේලාවෙන් උදේ 10.30 ට ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.
ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයට "චැම්පියන් ශූරතා ක්‍රිකට් තරඟාවලිය"එක්වන්නේ 1998 වසරේ දීය.
ජූනි පළමුවෙනිදා පටන් දහඅට වෙනිදා(18) තෙක් පෙරට යන මෙවර තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තයේ කණ්ඩායම සහ බංග්ලාදේශ් කණ්ඩායම අතරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් ප්‍රදර්ශනය කෙරෙන ලන්ඩන් 'ඕවල්' (Oval ) බර්මිංහැම්හි 'එජ්බැස්ටන්'(Edgbaston) සහ වේල්සයේ 'කාඩිෆ්' (Cardiff) ක්‍රීඩාංගනවල තරඟාවලිය පැවැත්වෙයි.
මෙවර චැම්පියන් ශූරතා තරඟාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් අටක් සහභාගී වෙති.
පෙර සූදානම් වටය
නිල තරඟ ආරම්භ වීමට පෙර එම කණ්ඩායම් අතර පෙර සූදානම් තරඟ මැයි 26 වෙනි දින ආරම්භ වූ අතර එහි පළමු තරඟය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතරයි.
එම තරඟයේ දී දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර් පනහ නිමාවේ ලකුණු 318 ක් වාර්තා කළත්, තරඟය නිමවුණේ ලකුණු 319 ක් රැස් කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙනි.
පරාජයෙන් කෙළවර වුවද, එම තරඟයේ දී සුපුරුදු දස්කම් ප්‍රදර්ශනය කළ නායක ඇන්ජලෝ මැතිව් ලකුණු 95 ක්ද අසේල ගුණරත්න ලකුණු 70 ක්ද වාර්තා කරමින් තරඟාවලිය සඳහා ඇති සිය සූදානම පෙන්නුම් කළහ.
මැයි 30 වෙනිදා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුන පෙර සූදානම් තරඟයත් නවසීලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයෙන් නිම විය.
පරාජයෙන් කෙළවර වුවද, එම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 356 ක් වාර්තා කළ අතර උපුල් තරංග ශතකය ඉක්මවා යමින් ළකුණු 110 ක් වාර්තා කිරීම සුවිශේෂී කරුණක් විය.
ඉන් අනතුරුව පැවති පෙර සූදානම් තරඟවල තුනක දී බංග්ලාදේශ් කණ්ඩායම පරාජය කරමින් පාකිස්තානයත්, නවසීලන්තය පරාජය කරමින් ඉන්දියාවත්, නැවත බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාවත් ජයග්‍රහණ වාර්තා කර ඇත.
සිය අවසන් පෙර සූදානම් තරඟය බංග්ලාදේශයට 'අමිහිරි සූදානමක්' වුණේ ලකුණු 84 කට සමස්ත කණ්ඩායම දැවී යාමෙනි.
නිල තරඟ
මෙවර තරඟාවලියේ "බී" කණ්ඩායමට අයත් ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය පැවැත්වෙන්නේ ජූනි 03 වෙනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවයි.
ඉන් අනතුරුව ජූනි අටවෙනිදා ඉන්දියාවට එරෙහිවත්, දොළොස් වෙනිදා පකිස්තානයට එරෙහිවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදිනු ඇත.
ඉන් පළමු තරඟ දෙක ලන්ඩනයේ 'ඕවල්' ක්‍රීඩාංගනයේ ද ,තෙවැන්න වේල්සයේ 'කාඩිෆ්' ක්‍රීඩාංගනයේ ද පැවැත්වෙයි.
ජුනි දොළොස්වෙනිදා තෙක් පැවැත්වෙන එම පළමු වටයේ දී 'ඒ' සහ 'බී' කණ්ඩායම් දෙකේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබයි.
අවසන් වටය
එහි පළමු පූර්ව අවසාන තරඟය ජූනි 14 වෙනිදා පැවැත්වෙන්නේ 'ඒ' කණ්ඩායමේ පළමු තැන හිමිකර ගනු ලබන කණ්ඩායම සහ 'බී' කණ්ඩායමේ දෙවැනි තැන හිමි කණ්ඩායම අතරයි.
අනතුරුව ජූනි 15 වෙනිදා 'ඒ'කණ්ඩායමේ දෙවැනි තැනත් 'බී' කණ්ඩායමේ පළමු තැන ලබා සිටින කණ්ඩායමත් තරඟ වදිනු ඇත.
එම තරඟ දෙකෙන් ජය ලබන කණ්ඩායම් දෙක ජූනි 18 වෙනිදා චැම්පියන් ශූරතා කුසලානය දිනා ගැනීමේ අවසන් මහා තරඟයට සහභාගී වෙයි.
ශ්‍රී ලංකාවේ සහභාගිත්වය
ශ්‍රී ලංකාව චැම්පියන් ශූරතා තරඟාවලියක් ජග්‍රහණය කරනු ලැබ ඇත්තේ එක් වතාවක් පමණි.
ඒ 2002 තරඟාවලියේ දී ඉන්දියාවත් සමඟ සම ශූරයන් වීමෙනි.
පුහුණු තරඟයක දී තුවාල ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව ජූනි 03 දා සිය කණ්ඩායම සහභාගී වෙන මෙවර පළමු තරඟයට සහභාගී නොවෙන තත්වයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.
දැනට චැම්පියන් ශූරතා ක්‍රිකට් කිරුල දරන්නේ 2013 තරඟාවලිය ජයගත් ඉන්දියාවයි.