ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශයේ පළමු පෙළ ක්‍රිකට් 'ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන්'
බංග්ලාදේශයේ පවා පළමු පෙළ ක්‍රිකට් ශූරතාවලි ශ්‍රී ලංකාවට වඩා ඉතා ඉදිරියෙන් සිටින බව පෙන්වාදෙන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, ශ්‍රී ලංකාවේ ද පළමු පෙළ ක්‍රිකට් ඉහල මට්ටමකට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
එම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිණිස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්වාර කමිටුවේ සභාපති පදවිය හෙබැවූ අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවා අනුමැතිය හිමි වූ බවත් ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව පසුගිය සතියේ ටෙස්ට් තරගයකින් බංග්ලාදේශයට පරාජයවීම අහම්බයක් නොවන බව පෙන්වාදෙන ඔහු එය විග්‍රහ කරන්නේ රටේ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ ප්‍රතිශෝධනයකට ලක්කිරීමට අපොහොසත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
"අපේ ක්‍රිකට් ව්‍යුහය ඉදිරියට ගිහින් නැත්තේ, අපේ තියන ව්‍යවස්ථා සංයුතිය මාරුකරන්න බය නිසා ක්‍රිකට් දේශපාලනය නිසා," සිදත් වෙත්තමුණි සඳහන් කළේය.
"අපි හැමදාම කිවුවේ ක්‍රීඩා සමාජවල ඡන්ද 148 ක් එක්ක අපේ ව්‍යවස්ථාව මාරු කරේ නැත්නම් අපේ ක්‍රිකට් දියුණු කරන්න බෑ. මොකද අපේ පළමු පෙළ ක්‍රිකට් වෙනින් ලෙවල් එකකට ගෙනියන්න ක්‍රීඩා සමාජ ඉඩදෙන්නේ නෑ."
අදාළ සංශෝධන සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍ය පදවිය හෙබැවූ නවීන් දිසානායකට 'සැබෑ අවශ්‍යතාවයක්' තිබූ බව පවසන ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ පවා එයට පූර්ණ අනුමැතිය පළ කළ නමුත් එය ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාදවෙමින් පවතින බවත් පෙන්වා දෙයි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවා පළමු පෙළ ක්‍රිකට් පූර්ණ ප්‍රතිශෝධනයකට ලක්කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන පවසන සිදත් වෙත්තමුණි, ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ලෝක ශූරතාවය දිනා දුන් අරවින්ද ද සිල්වා, සනත් ජයසූරිය සහ අසංක ගුරුසිංහ වැනි හිටපු ක්‍රීඩකයන් වත්මන් පරිපාලනයට සම්බන්ධ වී සිටින්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, අසංක ගුරුසිංහට තීරණ ගැනීමේ බලයක් නොමැති බවය.
"මේ තීරණ ගන්න ඕනේ විධායක කමිටුවෙන්. සභාපති සහ එතුමාගේ විධායක කමිටුවෙන් තමා ක්‍රිකට් අනාගතය ගැන උපදෙස් දෙන්නේ."
ජගත් පාලක මණ්ඩලයේ සහ රටේ අගමැතිවරයාගේ පවා පූර්ණ අනුග්‍රහය හිමි වූ සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ මන්දැයි සොයා බලා තීරණය ගැනීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ වගකීමක් බවත් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයා පවසයි.
"ඇමැතිතුමාත් කිවුව අපේ යෝජනා හොඳයි කියල. හැබැයි තවම මොනාත් වෙලා නෑ," සිදත් වෙත්තමුණි වැඩිදුරටත් පැවසීය.