රත්නපුර නාය යාමේ අවදානම සහිත 'ස්ථාන 210 ක්'

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහතෙන් දොළහක නාය යාමේ අවදානම සහිත ස්ථාන 210 ක් හඳුනාගෙන ඇති බව දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානම් පර්යේෂණ කාර්යාලය පවසයි.
දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානම සහිත ස්ථාන 576 ක් පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව කණ්ඩායම් අටක් යොදවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ස්ථාන අතරින් නාය යාමේ අවදානම පවතින්නේ ස්ථාන 210 ක පමණක් බව හඳුනා ගන්නා ලද බවත් එම කාර්යාලය පවසයි.
ඒ අතරින් අවදානම සහිත ස්ථාන 58 ක් හඳුනාගෙන තිබෙන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

කොළොන්න, ගොඩකවෙල, වැලිගෙපොල, ඇඹිලිපිටිය සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් නායයාමේ අවදානම් සහිත බව සැලකෙන ස්ථාන 21ක් වාර්තාවී තිබුණ ද මෙතෙක් කළ පරීක්ෂණවලින් එය සනාථ වී නැති බවත් දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
කන්‍යාරාමයේ ප්‍රාථමික අංශය
මේ අතර රත්නපුර නගරයේ පිහිටි යේසු කන්‍යාරාම ජාතික පාසලේ ගොඩනැගිලි තුනක් නායයාමේ අවදානමක් පවතින බැවින් අඟහරුවාදා (ජුනි 06) සිට පාසල තාවකාලිකව වසා දැමූ බව සබරගමු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද එස් වීරසූරිය බීබීසී සිංහල සේවයට පැවසීය.
පාසලේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිලි සහ මෑතකදී ඉදිකළ ගොඩනැගිලිවල තිබූ පිපිරීම් පළල් වී ගොඩනැගිලි ඇලවී ඇති බව මව්පියෝ පවසති.
වසා දැමුණු ප්‍රාථමික අංශයේ සමාන්තර පන්ති 12ක් මේ අවදානමට ලක්ව පවතී.

එම පන්ති පැවැත්වීම සඳහා විකල්ප ස්ථානයක් නැති බැවින් පාසල් පරිපාලනය විශාල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පාසලට යාබද දේවස්ථානයේ වසා තිබෙන ගොඩනැගිලි දෙකක තාවකාලිකව මෙම පන්ති පවත්වන මෙන් මව්පියෝ ඉල්ලා සිටිති.
අධාපන බලධාරින් පැවසුවේ එම ඉල්ලීම පිළිබඳව දේවස්ථානයේ භාරකරුවන් සමග සාකච්ඡා කරන බව අධ්‍යාපන බලධාරීහු පවසති.
ශිෂ්‍යාවන් 2100 පමණ අධ්‍යාපනය හදාරන මෙම පාසලේ ශිෂ්‍යාවන් 820 කගේ පමණ පොත්පත්, ඇඳුම්, පැළඳුම් සහ සපත්තු ආදී පාසල් උපකරණ ගංවතුර හේතුවෙන් විනාශ වී ඇති බව විදුහල්පතිනී පීජීඑස් ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට කියා සිටියාය.










