ගංවතුර සහ නාය යාම් පාසල් දරුවන්ට බලපෑ හැටි

රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් පනස් හතක් විනාශ වී ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් පනස් හතක් විනාශ වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දුන් ගංවතුර සහ නාය යාමේ උවදුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති අලුත්ම තොරතුරු අනුව පාසල් සිසුන් පනස් දෙදෙනකු එම ව්‍යසනයට ගොදුරු වී ඇති බව අද (මැයි 31) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ විය.

එම සිසුන්ගෙන් හතළිස් හතර දෙනකු මරණයට පත්ව ඇති අතර තවත් අටදෙනෙක් අතුරුදහන් තත්වයෙහි ලා සැළකෙයි.

ගංවතුරෙන් සහ නාය යාමෙන් වැඩිම හානිය සිදුව ඇති පාසල් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ පාසල් පනස් හතක් විනාශ වී ඇත.

පාසල් වලට වැඩිම හානි සිදුව ඇති ඊලඟ ප්‍රදේශය කළුතර දිස්ත්‍රික්කයයි.

මේ අතර සබරගමු පළාතේ පාසල් තිහක් ද, දකුණු පළාතේ පාසල් දොළහක් සහ බස්නාහිර පළාතේ පාසල් දාහතක් අවතැන් කඳවුරු ලෙස යොදා ගැනෙමින් ඇත.

පසුගියදා ඇති වූ ගංවතුර සහ නාය යාම් වලට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහළොවක ජනතාව ගොදුරු වූ අතර ඒවා අතරින් දිස්ත්‍රික්ක අටක පාසල්වලට ජූනි දෙවෙනිදා (02) තෙක් නිවාඩු දී ඇති අතර උද්ගත වන තත්වයන් යටතේ එම නිවාඩු කාලය දීර්ඝ කෙරුනොත් ඒ පිළිබඳව කල්තබා නිවේදනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ආපදාවට ගොදුරු වූ පාසල් ජූනි 02 තෙක් වසා තැබෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආපදාවට ගොදුරු වූ පාසල් ජූනි 02 තෙක් වසා තැබෙයි.

ගංවතුරින් ආපදාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් නොමිළේ නිල ඇඳුම් කට්ටල තුනක් , පෙළපොත් කට්ටලයක්, සපත්තු කූට්ටමක් සහ අභ්‍යාස පොත් රජය විසින් ලබා දන බවත් අධයාපන ඇමති අකිල විරාජ් කාරියවසම් ඉහත කී මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

පාසල් යළි ආරම්භ කළ පසු ආපදාවන්ට මුහුණ දුන් ප්‍ර‍දේශවල දරුවන්ට පාසල් නිල ඇඳුම අනිවාර්ය නොවන අතර තමන්ට ඇති වෙනත් ඇඳුමකින් පාසල් පැමිණීමට අවසර දෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ගංවතුරින් සහ නාය යාමෙන් විනාශ වූ විභාග සහතික පත් විභාග දෙපාර්තමේන්තුව මඟින් නැවත නොමිළේ ලබාගැනීමට ද අවස්ථාව ලැබෙයි.

ආපදාව බලපෑ දරුවන්ට නිල ඇඳුමින් තොරව පාසල් යාමට අවසර ලැබෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ආපදාව බලපෑ දරුවන්ට නිල ඇඳුමින් තොරව පාසල් යාමට අවසර ලැබෙයි.

එසේම,අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබා දෙන ආපදා ණය සඳහා ඉල්ලුම් කිරීමේ දී ගංවතුර ආපදාවට ලක් වූ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත ප්‍රමුඛතාව දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.