ගංවතුර: රට පුරා 'ලක්ෂ පහක් අවතැන් වෙලා'

වීඩියෝ ශීර්ෂ වැකිය, සහන මෙහෙයුම් සහ අතුරුදහන් වූවන් ගැන මේජර් ජනරාල් සුදන්ත රණසිංහ

ධාරානිපාත වර්ෂාව, ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බව ආණ්ඩුව පවසයි.

අවතැන්ව සිටින 493,455 පිරිසට තාවකාලික කඳවුරු 185 ක නවාතැන් පහසුකම් සපයා දී තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් සුළු හා මධ්‍ය පරිමාණ නාය යෑම් 50 ක් පමණ වාර්තා වී තිබෙන අතර, රට පුරාම ආපදාවට ලක් වූ සියලු ස්ථානවලට ළඟාවීමට ත්‍රිවිධ හමුදාව සහ සහන සේවකයන් සමත් වූ බව ආණ්ඩුව පවසයි.

ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම පිණිස යුද හමුදා බලඇණි 15 කට අයත් නිලධාරීන් 1500 ක්, විශේෂ පුහුණුව ලද නාවික හමුදා නිලධාරීන් 500 කට වැඩි පිරිසක්, ඩිංගි බෝට්ටු 86 ක්, ගුවන් හමුදා සෙබළුන් සහ හෙලිකොප්ටර් යානා ද යොදවා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

"ගංවතුර නරඹන්න යන්න එපා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "ගංවතුර නරඹන්න යන්න එපා"

"මේ වනවිට යුද හමුදාව විපතට පත්වූවන් 1854 ක්ද, ගුවන් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26 දෙනෙක්ද, නාවික හමුදාව 2047 ක්ද මුදා ගැනීමට සමත් වී ඇත," යනුවෙන්ද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය දැක්වේ.

ගංවතුරට කොටු වී සිටින පිරිස් බේරාගැනීම පිණිස ජීවිතාරක්ෂක කබා 10,000 ක් ලබාදීම සඳහා කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් දී තිබේ.

බරපතල ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් 103 දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති අතර, තවත් 113 දෙනෙකු අතුරුදහන්ව සිටිති.

අතුරුදහන්ව සිටින ඒ සියලු දෙනාම මියගොස් ඇතැයි විශ්වාස කළ නොහැකි බව බේරාගැනීමේ හමුදා මෙහෙයුම් භාරව සිටින මේජර් ජනරාල් සුදන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

Landslides in Rathnapura
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු සහ මධ්‍ය පරිමාණ නාය යෑම් 50 ක් පමණ වාර්තා වී තිබේ

විශේෂයෙන්ම ගංවතුරෙන් කොටු වී තිබෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය වෙත ළඟාවීම පිණිස බෝට්ටු දහයක් පමණ යොදවා තිබෙන බව සඳහන් කළ ඔහු පාහියංගල ප්‍රදේශයට සහන ලබාදීම පිණිස විශේෂ හමුදා ඒකකයක් රඳවා තිබෙන බවත් පැවසීය.

අවතැන් වූවන් වෙනුවෙන් ලබා දෙන ආධාර භාරගැනීම පිණිස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ගංවතුර හේතුවෙන් ඩෙංගු රෝගය පැතිරීම 150 % කින් පමණ ඉහල යා හැකි බවට සේව් ද චිල්ඩ්රන් (Save the Children) පුණ්‍යායතනය අනතුරු ඇඟවීමක් කරයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, අගලවත්ත: මෘතදේහ භාරදීම සන්නාහ සන්නද්ධ රථ මගින්

රත්නපුර

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල කිරිබත්ගලකන්ද නායයාමෙන් 'කුරහන' ගම්මානයේ විසි හය දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි සැකකරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එයින් දස දෙනෙකුගේ සිරුරු මේ වනවිට හමු වී තිබේ.

කුරහන ගම්මානයේ නිවාස දහයක් සම්පූර්ණයෙන් ම යට වී ඇති අතර, තවත් නිවාස පහළොවක් අවදානම් තත්ත්වයේ පවතී.

ඇහැලියගොඩ මාළිගාතැන්න කන්ද නායයාමෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම යට වී දොලොස් දෙනෙකු ජීවික්ෂයට පත්ව ඇති බව ද යුද හමුදාව පවසයි.

එයට අමතරව රත්නපුර, කලවාන, ඇහැලියගොඩ, නිවිතිගල, ගොඩකවෙල, පැල්මඩුල්ල, කුරුවිට, අයගම, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුලු සහ මධ්‍ය පරිමාණයේ නාය යාම් පනහක් පමණ වාර්තාවන බව රත්නපුර දිස්ක්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂ එස් එච් මුදිත මංජුල පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්කයේ බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින හමුදාව
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුර දිස්ත්‍රික්කයේ බේරාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින හමුදාව

එබැවින් බැකෝ යන්ත්‍ර ඇතුළු උපකරණ වල දැඩි හිඟයක් පවතින බව සහන සේවකයෝ පවසති.

ගංවතුර බස ගොස් නැති බැවින් රත්නපුර නගරය හරහා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. කළු ගඟේ ජල මට්ටම මීටර් දහය ද ඉක්මවා ගොසිනි.

ගංවතුරට කොටු වී සිටින දහස් ගණනක ජනතාවක් පානීය ජලය සහ ආහාර හිඟයෙන් පීඩා විඳින බව වාර්තාකරුවෝ පවසති.

මාතර

විශේෂයෙන්ම නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ තිබේ.

මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව සිටින ලෙස තවදුරටත් දැනුම්දෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ වාරිමාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න සඳහන් කළාය.

මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙස එම රෝහලට දැනුම් දී ඇති බවත් ඇය කියා සිටියාය.

කඩුවෙල ගංවතුර
ඡායාරූප ශීර්ෂ වැකිය, කඩුවෙල ගංවතුර

ගාල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, තවලම හිනිඳුම යන ගිං ගඟේ ඉහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයේ යම් කිසි අඩුවිමක් දක්නට ඇති අතර එයට සාපේක්ෂව ගිං ගඟේ පහළ ප්‍රදේශවලට ගංවතුර ගලා බැසිමේදි බදේදේගම, යක්කලමුල්ල, වැලිවිටිය-දිවිතුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර තත්ත්වය වැඩි වෙමින් පවතින බව ගාල්ල අතීරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

ආරක්ෂිත ස්ථානවලට යන ලෙස එම ප්‍රදේශවල වැසියන්ට සිකුරාදා (මැයි 26) සිට දැනුම් දුන්නත් ඇතැමුන් එසේ ඉවත් නොවන බවත් සඳහන් කළ ඔහු, වහාම ඉවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.

ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් දිගටම සහන සැපයීමේ නිරතව සිටිති.

රත්නපුර දිස්ත්‍රික්කයේ පස් කඳුවලට යට වූ යතුරු පැදියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, රත්නපුර දිස්ත්‍රික්කයේ පස් කඳුවලට යට වූ යතුරු පැදියක්

ගංවතුර හේතුවෙන් සිකුරාදා ලඟාවීමට නොහැකි වූ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් දැන් ලඟා වී සිටිති. ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බෝට්ටු 56 කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබේ.

මේ අතර ගාල්ල සිට ප්‍රධාන මාර්ග 4 ක ධාවනය වන බස් රථවල ගමනාන්තය ගංවතුර නිසා අතර මඟට පමණක් සිදු කරන බව දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

හම්බන්තොට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගංවතුර බැසයමින් පවතින අතර ආපදා තත්වය නොතකා අපරීක්ෂාකාරීව තංගල්ල කපුහෙන්ගොඩ කැඩී ගිය පාලමෙන් එගොඩ වීමට උත්සාහ කළ තරුණයින් දෙදෙනෙකු ජල පහරකට හසුව මියගොස් තිබේ.

එමෙන්ම අපරීක්ෂාකාරීව කුඩා දරුවන් සමග ගංවතුර පවතින ප්‍රදේශවලට නොයන මෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල අබේවික්‍රම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

හම්බන්තොට බොහෝ ප්‍රදේශවල දැන් ගංවතුර බැස ගොස් තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, හම්බන්තොට බොහෝ ප්‍රදේශවල දැන් ගංවතුර බැස ගොස් තිබේ

ආපදාවට ලක්වූ පිරිස් වෙනුවෙන් සහන කඳවුරු 20 කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබුණත්, බොහෝ පිරිසක් මේ වනවිට එම කඳවුරුවලින් පිටව ගොස් තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිවු එච් කරුණාරත්න සඳහන් කළේය.

තවදුරටත් ආපදාවට ලක්වී සිටින 1900 කට ආසන්න ජනතාවට සහන සැපයීමට රජයේ නිලධාරින් යොදවා තිබෙන අතර, බෝතල් කළ පානිය ජලය, පිසූ ආහාර මෙන්ම වියලි සලාක බෙදා දීමද දිගටම සිදෙමින් පවතින බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.