ඉන්දියාවෙන් තවත් නැව් තුනක්

ගංවතුරින් සහ නායයාම් හේතුවෙන් අවතැන්වී සිටින ජනතාවට සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් 'කර්ච්' නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නියෝගයක් අනුව බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් සී ආර් පී වලාකුලුගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ විපතට පත් ජනතාවට බෙදා දීම සඳහා වියලි ආහාර ද්‍රව්‍ය සහ කුඩාරම් තොගයක් මෙම නෞකාව රැගෙන විත් ඇති බවය.
ඒවා බෙදා හැරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි කුඩා ප්‍රමාණයේ රබර් බෝට්ටු ද ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබ ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
ඉදිරි දින කිහිපය තුළ තවත් ඉන්දීය නෞකා තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
ඔහු තවදුරටත් කියා සිටියේ එම නෞකාවලින් වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව ප්‍රථමාධාර සඳහා අවශ්‍යවන ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ද ශ්‍රී ලංකාවට රැගෙන එන බවය.
ශ්‍රී ලංකාවට එල්ල වී ඇති ස්වභාවික විපත පිළිබඳව ශෝකය පළකරමින් සහ ආධාර සපයන බව පවසමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (මැයි 26) ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කර තිබුණි.

ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය නෞකාවලින් සහනාධාර වලට අමතරව, හදිසි ආපදා තත්වයකදී ක්‍රියාකරන ආකාරය සඳහා පුහුණුව ලත් විශේෂඥ කණ්ඩායමක් ද පැමිණෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.








