ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආධාර පතයි

ප්‍රවාහනය දුෂ්කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රවාහනය දුෂ්කරයි

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට ආධාර වෙන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම සෝදිසි කිරීම් සහ බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රදේශවල ව්‍යසනයට ගොදුරුව සිටින ජනතාවට සහන සැලසීමට ඉදිරිපත්වෙන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය(UNO) සෝදිසි කිරීම් සහ බේරාගැනීමේ මෙහෙයුම් පිලිබඳ ජාත්‍යන්තර උපදේශක මණ්ඩලය(INSARAG) යන ආයතන සහ අසල්වැසි රටවලින් ආණ්ඩුව ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

රත්නපුර නගරයම ජලාශයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, රත්නපුර නගරයම ජලාශයක්

ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර රැගත් නැව් කීපයක් දැනටමත් ඉන්දියාවෙන් ගමන් ආරම්භ කර ඇති බව මේ අතර නිවේදනයක් නිකුත් කරන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

"ශ්‍රී ලංකාවට ආධාර රැගත් අපේ නැව් පිටත් වුනා. පළමු නැව හෙට (27) උදේ කොළඹට ලඟාවනු ඇත" ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ හදිසියේ ඇති වූ ගංවතුරට සහ නායයාම්වලට ගොදුරු වීමෙන් මරණයට පත් ජන සංඛ්‍යාව සියයකට ආසන්න වී ඇති අතර තවත් 110 දෙනෙකු අතුරුදහන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් 53,000 ක පමණ ජනතාව අවතැන් වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

වීඩියෝ ශීර්ෂ වැකිය, කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා

මේවනවිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

රත්නපුර නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වූ අතර, මියගිය, අවතැන් වූ සහ හානියට පත් නිවාස සහ දේපළ සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම පවා අපහසුව තිබෙන බව රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.

කැළණි ගඟේ ජල මට්ටමත් වේගයෙන් ඉහළ යමින් පවතින අතරවාරයේ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා ආණ්ඩුව කඩිනමින් ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රාත්‍රී කාලයේ තවත් වැසි ඇද වැටිය හැකි බවට අනතුරු ඇඟවීම්.
ඡායාරූප ශීර්ෂ වැකිය, රාත්‍රී කාලයේ තවත් වැසි ඇද වැටිය හැකි බවට අනතුරු ඇඟවීම්.

ඉදිරි පැය 48 ඇතුළත තවදුරටත් තද වැසි ඇතිවුනොත් ආපදා තත්වය තවත් දරුණු වීමට ඉඩ ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද(මැයි 26) රාත්‍රී හතට පමණ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම විපතට පත් ප්‍රදේශ බැලීමට පැමිණීමෙන් වළකින ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.