ගංවතුර සහ නාය යාම්: බලාගෙනයි! අනතුරු පහව ගොස් නැහැ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මාතර පාලටුව ප්‍රදේශයේ ඔරුවක් පෙරළි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ගංවතුර තත්වය යම් තරමකට අඩු වීමත් සමග මව, පියා සහ දාහතර හැවිරිදි පුතු මරණයට පත්ව ඇත්තේ ජලයෙන් යට වූ තම නිවෙස දෙසට ඔරුවකින් ගමන් කිරීමට උත්සාහ දරමින් සිටියදීය.
ඔරු-පාරු සහ කුඩා බෝට්ටු භාවිතා කර ගංවතුරෙන් යට වූ ප්‍රදේශ වෙත නොයන ලෙස නාවික හමුදාව අද (ජුනි 01) උදෑසන ජනතාවට අනතුරු ඇඟවීමක් ද කර තිබිණි.
මරණ ගණනාවක්
ජලයෙන් යට වූ ප්‍රදේශ වෙත යාමට තැත් කිරීමේ දී ඔරු-පාරු සහ කුඩා බෝට්ටු පෙරලීමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බදාදා (මැයි 31) ප්‍රකාශ කළේය.
ගිං ආසන්නයේ පාරුවක් පෙරළී ගසක එල්ලී සිටි පියකු සහ පුතෙකු බේරා ගැනීමට වෙනත් කටයුත්තක් සඳහා ඒ ආසන්නයෙන් යාත්‍රා කරමින් සිටි නාවික හමුදාවේ කණ්ඩායමක් බදාදා සමත් විය.
මාතර ප්‍රදේශයේදී ද එවැනිම පිරිසක් බේරා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමග යාත්‍රා කරමින් සිටි නාවික හමුදා භට කණ්ඩායමක් කටයුතු කළහ.








