"බරපතළ දූෂණ නඩු කඩිනම් කරන්න අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක්"

ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, ලබන 19 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක්

බරපතළ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කොට වරදකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කළ යුතු බවට කැබිනට් ඇමතිවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට යෝජනා කරති.

වංචා දූෂණ සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීමේ ප්‍රමාදයක් පවතින බවට ජනතාව තුළ මතයක් නිර්මාණය වී ඇති බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම එවැනි චෝදනා විභාග කිරීම සඳහා වත්මන් නීති රාමුව තුළ යම් කිසි කාලයක් ගතවන බව පෙන්වා දෙයි.

එවැනි නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදය මග හරවා ගැනීම සහ වංචා දූෂණ හේතුවෙන් රජයට අහිමි වූ මහජන මුදල් නැවත ලබා ගැනීමේ අරමුණින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙස තමන් ඇතුළු කැබිනට් ඇමතිවරු දාහත් දෙනෙකුගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරයා කියා සිටියේය.

සිරිමාවෝ බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ද එවැනි කොමිෂන් සභා පත් කොට ඇති බවත් ඔහු පෙන්වා දුණි.

'තීන්දු ලබා දීමේ බලය'

අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඇමති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම

"නඩු ඇසීම සහ ඉක්මන් කිරීම තමයි මෙහි ප්‍රධාන අරමුණ. ඒ වගේම මේ කොමිසමට තීන්දු ලබා දී දඬුවම් කරන්නත් පුළුවන්," කී ඇමතිවරයා එම යෝජනාවට කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ සහාය හිමිවනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

පෙර පැවති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත මේවන විට අහෝසි වී ඇති බැවින් එය පූර්වාදර්ශයක් ලෙස ගෙන අලුතින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වැඩිදුරටත් කියා සිටියේය.