කලාකරුවෝ ජනාධිපති ආරාධනය බැහැර කරති

මහාචාර්ය සරත් විජේසූරිය
ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය සරත් විජේසූරිය

ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට විරෝධය පෑමක් වශයෙන්, ඔහු සමග අදට නියමිතව තිබූ සාකච්ඡාවට පුරවැසි බලයට සමබන්ධ සංවිධානවලට අයත් කලාකරුවන් සහභාගී නොවූ බව මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.

කලාකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡාකිරීම සඳහා එම හමුව කැඳවා තිබූ බව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වූ සිවිල් සමාජ කණ්ඩායම් අද (ඔක්. 14) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.

'සාහිත්‍යකරුවන්, සිනමාකරුවන් සහ නාට්‍යකරුවන් ඇතුළත් කලාකරුවන්ගේ රැස්වීමක් අද සවස ජනාධිපති මන්දිරයට කැඳවලා තිබුණා'

'අපේ සංවිධානවල පුද්ගලයෝ හැටියට අපි ඒකට නොයන්න තීරණය කළා, ජනාධිපතිවරයාගේ කතාවට විරෝධය පළකිරීමක් වශයෙන් තමයි ඇත්ත වශයෙන්ම නොයන්නේ' මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය.

හමුදා ප්‍රධානීන් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් අධිකරණයට කැඳවනු ලැබීම සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ පොලිසිය විවේචනය කරමින් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මෙහිදී පුරවැසි බලයට සම්බන්ධ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ දැඩි විරෝධයට හේතු විය.