දූෂිතයන් රකින්නේ අපේම අයයි - රාජිත

වීඩියෝ ශීර්ෂ වැකිය, දූෂිතයන් රකින්නේ අපේම අයයි - රාජිත

'නිලමේ' නැමැත්තෙකු අත්අඩංගුවට ගන්නේ දැයි විමසීම සඳහා පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ලැබූ දුරකථන ඇමතුම දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ නැවැත්වීමට කළ එක් බලපෑමක් පමණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එවැනි හෙලි නොවූ බලපෑම් රාශියක් තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් තීරණ දනුමිදීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පැවති රජයේ ප්‍රබලයන් වෙත එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ඔවුන් බේරාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් කටයුතු කරන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපි හදපු ආණ්ඩුවේ ඒ අය දිවිරුම් දීලා දැන් ඩීල් දානවා,"ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලයේදී සිය හඬ අවදි කළ බව කී ඇමතිවරයා " යෝෂිත රාජපක්ෂට ෆයිල් යවලා තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී සෙනරත් ආරක්ෂා කරන්නේ කවුද කියල මම කැබිනට් මණ්ඩලේදී කිව්වා," යනුවෙන් සඳහන් කළේය.

මහා පරිමාණ වංචා සෙවීමේ අරමුණින් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, මහා පරිමාණ වංචා සෙවීමෙන් බැහැර වී සුළු වැරදි සොයා පරීක්ෂණ සිදු කරන තත්වයක් දක්නට ඇති බවත් ඔහු පැවසීය.

නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් 2012 වර්ෂයේ සහ පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද කියන රුපියල් මිලියන 4012 ආසන්න මුදල සම්බන්ධයෙන් ද අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් දැක්වීය.