'ජාතික ගීය දෙමළ බසින් ගැයීම ව්‍යවස්ථානුකූලයි'

ජාතික ගීය
ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල මෙන් ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇති බවයි නීතිවේදීන් පෙන්වාදුන්නේ

ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කිසිදු නීතිමය බාධාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (නොවැ.18) ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම ප්‍රකාශය කරනු ලැබුවේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම හේතුවෙන් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා කැලණිය ප්‍රදේශවාසීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුව ජාතික ගීය ගායනා කළ හැක්කේ සිංහල භාෂාවෙන් පමණක් බව කී පෙත්සම්කරුවෝ, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව පසුගිය නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගැයීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණයකර ඇති බව බවට තීන්දුවක් දෙන මෙන් ඉල්ලා සිටියහ.

ඊට විරෝධය පෑ රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිංහල මෙන් ම දමිළ භාෂාව ද රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇති බවය.

ඒ අනුව, ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බැවින් පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.